Home » ජනතාව අප ගැන තැබූ විශ්වාසය කිසිවි‍ෙටක බිඳ දමන්නේ නෑ

ජනතාව අප ගැන තැබූ විශ්වාසය කිසිවි‍ෙටක බිඳ දමන්නේ නෑ

-‘ජය නියතයි ගම අපටයි’ තලවකැලේ ජන රැලිය අමතමින් ජනපති කියයි

by sachintha
April 21, 2025 1:01 am 0 comment

වතු ජනතාවට ස්වාධීනව ජීවත් විය හැකි පරිසරයක්

මතු පරපුරට ජාති – ආගම් යුද්ධ නැති රටක්

අල්ලස-දූෂණය-පගාව නැති නිසා ආයෝජකයන් යළිත් මෙරටට එනවා

අපට ඡන්දය නොදුන් පිරිසද ආණ්ඩුවේ ගමන නිවැරදි බව සනාථ කරන පාලනයක් ඇති කරනවා

පළාත් පාලන ආයතනත් හොරකම් නොකරන පිරිසකගෙන් පිරවිය යුතුයි

මීට පෙර ආණ්ඩු නිර්මාණය වූයේ බලයට පත්වන අය වෙනුවෙන් වුවත් ජාතික ජන බලවේගය ආණ්ඩුව සෑම තීරණයක්ම ගන්නේ පොදු ජනතාව වෙනුවෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ නුවරඑළිය, තලවකැලේදී පෙරේදා (19) පැවති “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජන රැලිය අමතමිනි. ජාතික ජන බලවේගය මඟින් මෙය සංවිධාන කර තිබිණි.

මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් බිඳවැටීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් පිරිස ද ආණ්ඩුවේ ගමන නිවැරදි බව සනාථ කරන පාලනයක් රට තුළ ඇති කරන බව ප්‍රකාශ කළේය.

එසේම මතු පරපුර ජාතිය හෝ ආගම් මුල්කරගෙන යුද්ධ නොකරන රටක් නිර්මාණය කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වතු ජනතාවට ස්වාධීන පුරවැසියන් ලෙස ජීවත්විය හැකි පරිසරය නිර්මාණය කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“පසුගිය මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව ජාතික ජන බලවේගයට විශාල ජයග්‍රහණයක් දුන්නා. ඒ ජයග්‍රහණය අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙක් නියෝජනය කරනවා. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය අපට විශ්වාසයි. පසුගිය වසරේ සැප්තැම්බර් 21 වැනිදා වනතෙක් මේ රටේ බලය තිබුණේ එක පෙළැන්තියකටයි. පවුල් කිහිපයක් අත තිබූ දේශපාලන බලය සැප්තැම්බර් 21 වැනිදා පොදු ජනතාව අතට පත්වුණා.

පවුල් කිහිපයක පාලනය නිසා ණය බරින් මිරිකුණු රටක් බිහි වුණා. ඒ නිසාම ජනතාව මේ රටින් විදේශ රටවලට ගිහින් පදිංචි වුණා. එහෙත් ජනතාව පෙරට ඇවිත් පොදු ජනතාව අතට පාලන බලය ගෙන රට නිවැරදි දිශානතියකට ගෙන ඒමට කටයුතු කළා. ජනතාව ඉතා නිර්භීත තීන්දුවක් අරගෙන ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සහිත ආණ්ඩුවක් ජාතික ජන බලවේගයට ලබා දුන්නා. එයින් පෙනී යන්නේ ජනතාව අප කෙරෙහි තබා ඇති විශ්වාසයයි.

ඔබ අප කෙරෙහි තබා ඇති එම විශ්වාසය බිංදුවකින්වත් කඩා වැටෙන්න ඉඩ තබන්නේ නැහැ. අපට ඡන්දය නොදුන් අයත් අපේ පාලනය දැක ජාතික ජන බලවේගය නිවැරදියි කියන තැනට ගෙන ඒමට අප කටයුතු කරනවා. මේ රට ගොඩනැඟීම සඳහා හොඳම අවස්ථාව දැන් ලැබී තිබෙනවා. මීට කලින් ආණ්ඩු හැදුණේ ආණ්ඩු බලයට පත්වන අය වෙනුවෙනුයි. තාත්තා පාර්ලිමේන්තුවට ගිය විට පුතත් පාර්ලිමේන්තු යනවා. අයියා පාර්ලිමේන්තුවේ ඉන්නකොට මල්ලී මහ ඇමැති වෙනවා. එයාලා ඇති තරම් මහජනයාගේ ධනය නාස්ති කළා. එයාලා එකතු කරගෙන තියෙන ධනය දිහා බැලුවොත් මේ ආයු කාලයේදී වියදම් කරලා ඉවර කරන්න පුළුවන්කමක් නැහැ. ඒ තරම් ධනයක් ඔවුන් රැස් කරගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගය ගන්න සෑම තීන්දුවක්ම ගන්නේ මේ රටේ ජනතාව වෙනුවෙනුයි. අපිට ඡන්දය දීපු හෝ අපේ පක්ෂයේ ඉන්න අයවලුන් වෙනුවෙන් නොවෙයි. අපි මේ රට හදනවා. අප මේ රට භාර ගන්නා විට විශාල ලෙස කඩා වැටීමට ලක්ව තිබුණා. ගෑස් තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. බැංකු පොලී අනුපාතය දිනපතා ඉහළ යන ආර්ථිකයක් තිබුණේ. ආර්ථිකය පිළිබඳ විශාල අවිනිශ්චිතතාවක් තිබුණා. අපේ පාලන කාලය ඇතුළත ක්‍රමානුකූලව ආර්ථිකය ස්ථාවර කරන්න සමත් වුණා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද තමයි මෑත ඉතිහාසයේ ජනතාව එකතු වී සතුටින්ම ගත කළ අවුරුද්ද.

ජනතාවට පහසුකම් සහිත ජන ජීවිතයක් උරුම කර දීම සඳහා අප ක්‍රමානුකූලව තීන්දු තීරණ ගනිමින් තිබෙනවා. රාජ්‍ය සේවයේ අවශ්‍යතාව අප හොඳින් දැනගෙන තිබෙනවා. කෝටි 14,000ක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වෙන් කර තිබෙනවා. මහා මාර්ග ඉදිකිරීම් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. මේ වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස විශාල ලෙස මුදල් වෙන් කර තිබෙනවා. එම මුදල් වියදම් කිරීමට හැකිවේදැයි පොඩි සැකයක් තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයට අලුතින් 30,000ක් බඳවා ගැනීමට තීන්දුවක් ගත්තා. රැකියාව සඳහා ලියුම් ගන්න කිසි කෙනකු මන්ත්‍රී ගාවට යා යුතු නැහැ. අපි පත්තරේ දැන්වීම දාන්නම්, විභාගයට වාඩි වී වැඩිම ලකුණු ගන්න දරුවා රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. එහෙමයි රට හදන්නේ.

පොලීසිය සඳහා අලුතින් 10,000ක් බඳවා ගැනීමට තීන්දු කර තිබෙනවා. මේ වසරේදී 2000ක් පොලීසියට බඳවා ගන්නවා. එම 2000න් 500ක් දෙමළ තරුණ තරුණියන් බඳවා ගැනීමට අප තීන්දු කර තිබෙනවා. තමන්ගේ මවු භාෂාවෙන් පැමිණිල්ලක් දාන්න බැරි නම්, රාජ්‍ය ආයතයකට ගොස් දෙමළෙන් ලිපි ලේඛනයක් ගන්න බැරි නම් ඒ අයට හිතෙන්නෙ නෑ මේක මගේ මවු රට කියලා. එම නිසා අපි සෑම දෙනාගේම මවු රට ලෙස ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා.

උතුරේ ජනතාව දෙමළ නායකයන් දෙමළ පක්ෂවලින් තෝරන්න කල්පනා කරනවා. දකුණේ ජනතාව සිංහල පක්‍ෂවලින් බෞද්ධ නායකයන් තෝරනවා. නැඟෙනහිර ජනතාව මුස්ලිම් පක්ෂවලින් මුස්ලිම් නායකයන් තෝරනවා. කඳුරට ජනතාව කඳුකරයේ පක්ෂ තෝරනවා. එහෙත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට පසුගිය මහමැතිවරණයේදී උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් නැඟෙනහිර ජනතාවත් කඳුරට ජනතාවත් ජාතික ජන බලවේගය තෝර ගත්තා. ක්‍රෝධය, වෛරය වපුරන දේශපාලනය වෙනුවට ජාතික සමඟිය තෝරන ජනතාවක් එකතු වී තිබෙනවා. මෙය ජනතාව ලැබූ ජයග්‍රහණයක්.

අපි ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනවා. ඕනෑම දේශපාලන මතවාදයක් දැරීමේ අයිතියට ගරු කරනවා. එහෙත් ජාතිවාදී කිසිදු කරුණකට අපි මින් ඉදිරියට ඉඩ තබන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය නම් නීති ගෙන ඒමටත් කටයුතු කරනවා. මේ රටේ ඉපදෙනවා නම්, මේ රටේ ආර්ථිකයට දායකත්වය සපයනවා නම්, මේ රටේ මියැදෙනවා නම්, ඔවුන් ශ්‍රී ලාංකිකයෝ. ඒ සියලු දෙනාටම තිබෙන්නේ එකම අයිතිවාසිකම්. සියලුදෙනාගේම අයිතිවාසිකම් එක සමානව පිළිගන්න ආණ්ඩුවක් අපි නිර්මාණය කර තිබෙනවා.

අපේ දරුවන්ගේ පරම්පරාව කිසි දිනක ජාතිය හෝ ආගම් මුල් කරගෙන යුද්ධ කරන්නේ නැති රටක් අපි හදනවා. අපි බලය ගන්නේ මන්ත්‍ර පොල්ලක් අතේ තියාගෙන නොවෙයි. අපි බලය ගන්නේ සාමාන්‍ය ජනතාව ලෙසයි. එහෙත් අපට අරමුණක් තිබෙනවා. ඒ අරමුණ වෙනුවෙන් අපි කැප වී තිබෙනවා.

අපි රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප විශාල ලෙස වැඩි කළා. භාණ්ඩාගාරයේ ධනය ජනතාව වෙත යා යුතුයි කියන විශ්වාසයේ අප සිටිනවා. අධ්‍යාපනය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන් විශාල ලෙස මෙවර අය-වැයෙන් මුදල් වෙන් කළා. දැනට තිබෙන අපේ අධ්‍යාපනය මවුපියන්ට බරක් වගේම දරුවන්ට පීඩාවක් වෙලා තිබෙනවා. එම නිසා 2026 වසරේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපි කටයුතු කරනවා. හය ශ්‍රේණිය සහ පළමු වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලබන වසරේ සිට ආරම්භ කරනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේදී ප්‍රධානම ඉලක්කය වන්නේ අධ්‍යාපනයට හොඳ අවස්ථාවක් ලබා දීමයි. අපි මහපොළ ශිෂ්‍යාධාර වැඩි කළා. විශේෂ වැටුප් තල හරහා විද්‍යාව විෂයන්වලට අදාළ ගුරුවරුන් බඳවා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

බීජ පර්යේෂණ ආයතනය නැවත ගොඩනඟනවා. සාධාරණ මිලකට ගොවියාට බීජ දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. වෙළෙඳපොළෙහි තිබෙන කෘමිනාශකවලින් හරි අඩක මිලකට කෘමිනාශක දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. වතු ජනතාවට දෛනික වැටුප 1700ක් දීමට සාකච්ඡා කරමින් තිබෙනවා. අපි වතු ජනතාවට ස්වාධීනව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. වත්තේ කොටස් එම පුරවැසියන්ට දීමට අවධානය යොමු කර තිබෙනවා.

මේ පළාතෙන් නව ව්‍යවසායකයන් බිහිවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ණය සහ තාක්ෂණය රජයෙන් දීමට කටයුතු කරනවා. ග්‍රෙගරි වැවට කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. සීතාඑළිය කෝවිල අවට සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට ආධාර දීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබෙනවා. ඔබට අවශ්‍ය අලුත් ආර්ථික අවස්ථා දීමට අපි කටයුතු කරනවා. ආර්ථිකයේ නව පරිවර්තනයක් ඇති කරමින් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අපි කටයුතු කරනවා.

පුරවැසියාට පවුලේ වෛද්‍යවරයකු දීමට අපි කටයුතු කරනවා. එය මේ වසර තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනවා. පොදු ප්‍රවාහනය නංවාලීමටත් අපි කටයුතු කරනවා. නව ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට මෙවර අය-වැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. එය නගරවල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරමින් ගම දක්වා ගෙන යෑමට සැලසුම් කර තිබෙනවා. අපේ රටේ ජනයාගේ කිසිදු මුදලක් නාස්ති නොකරන ආණ්ඩුවක් අද බිහි වී තිබෙනවා. මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති පිරිසක් අපි සමඟ සිටිනවා. පගා ඉල්ලන්නේ නැති ආණ්ඩුවක් නිසා ආයෝජකයන් මේ රටට පැමිණෙමින් තිබෙනවා.

වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් දිය යුතු නැද්ද? වංචා දූෂණය කළ අයට දඬුවම් දීමේ වුවමනාව පොදු ජනතාවට වඩා මට තිබෙනවා. නීතිය කාටත් පොදු වීම දියුණු රටක ලක්ෂණයක්.

ඉන්දීය ආධාර යටතේ නිවාස ව්‍යාපෘතියක් නුවරඑළියට ලැබී තිබෙනවා. එය කඩිනමින් අවසන් කර ජනතාවට දීමට අපි කටයුතු කරනවා. මේ සියල්ල අයිති ජනතාවටයි. මීට පෙර තිබුණේ දිය ඇල්ලක් දුටුවොත් එයත් දේශපාලනඥයාට අයිති ලෙසයි. එහෙත් වර්තමාන දේශපාලනය එහෙම නැහැ. මේ සියල්ලම ජනතාව සතු දේවල්. අපි ඒ සියල්ල ආරක්ෂා කරනවා. ඒ නිසා මැයි 06 වැනිදා පළාත් පාලන ආයතන ජයග්‍රහණය ජාතික ජන බලවේගයට දීමට ජනතාව දෙපාරක් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

මධ්‍යම ආණ්ඩුව හොරකම් නොකරන දේශපාලන අධිකාරියක් අද රටේ තිබෙන්නේ. ඒ නිසා පළාත් පාලන ආයතනත් හොරකම් නොකරන පිරිසකගෙන් පිරවිය යුතුයි. ඒ සඳහා සියලුදෙනා එකතු වෙලා වැඩ කරමු.”


උපාලි කරුණාරත්න, චමීර ඇල්ලදෙණිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT