නිරුවතින් මෙලොවට පැමිණ, නැවත හිස් අතින් අවසන් හුස්ම හෙළන මේ ටික කාලයට මිනිස් සත්ත්වයා තණ්හාවෙන්, ආශාවෙන් නොඅඩුව පෙළෙති. මිනිසා යනු ධනය, බලය වෙනුවෙන් කෙළ හලන්නන්ට. අනෙකාගේ බෙල්ල ගසා ගියත් පලක් නැති ගානට සතුටින් රජ කරන සත්ත්ව සංහතියකි. තමන්ගේ බඩ කට පුරවාගැනීමට, තමන්ගේ කාසි මල්ල පුරවා ගන්න මනුෂ්‍යයාගේ පොරකෑම අතිශය පිළිකුල්සහගත මෙන්ම බිහිසුණුය. මන්ද ජීවිත වටිනාකම් නොදන්නා අමනුෂ්‍ය කොට්ඨාසයක් මේ සමාජයේ ජීවත්වීමය. එහෙම කියන්නේ තමන්ගේ බලය රැක ගැනීමට, ධනය උතුරුවා ගැනීමට මනුෂ්‍ය ජීවිතවලට සුදු කොඩි දමන අසත්පුරුෂයන් වාසය කරන දේශප්‍රේමී යැයි කියන එහෙත් එසේ නොවන රටක් නිසාය.
තමන්ගේ ලෙයින් ජාතක කරන කිරිකැටි සිඟිත්තන් කෙලසන සමාජයක ‘වන’ කෙලසීම පුදුමයක් නොවේ. ජීවිතවල වටිනාකමක් නොදන්න මිනිසුන් කෙසේ ද සොබාදහමේ ඇති වටිනාකම හඳුනන්නේ?
හුස්ම පොදේ වටිනාකම නොදත් ධනලෝභීන් සොබාදම් මෑණියන්ගේ දරුවන් අළුගෝසුවන් දමා කෙලසීම අතිශය ශෝචනීය මෙන්ම පිළිකුල්සහගතය. මිනිස් සංහතියට හුස්ම පරිත්‍යාග කළ රූස්ස වෘක්ෂලතාවන් අද නොමිනිසුන්ගේ කැති පොරෝවලට හසු වී අවසන් හුස්ම හෙළයි. පවිත්‍ර වාතාශ්‍රයක් දුන් නිර්ලෝභී වෘක්ෂලතාවන්ට අද අත් වී ඇති ඉරණම වන්නේ මරණය පමණි.
අතීතයේ මුතුන් මිත්තන්ට වෘක්ෂලතාවන් යනු දෙවිවරුන්ය. ඔවුන් එසේ සැලකුවේ එහි ඇති වටිනාකම මනාව දන්නා නිසාය. මිල නොකෙරූ හුස්මට කළගුණ සැලකුවේ ඔවුන් වන්දනා කරමින්ය. නමුත් අද මිනිසුන්ගේ කළගුණ සැලකීම අන්තිම පහත්ය. ජීවත්වීමට හුස්ම පොද දෙන ‘වන’ සම්පත කෙලසීම අද බුද්ධියෙන් ඉහළ මිනිස් ජාතියගේ කළගුණ සැලකීමයි. තමන් ජාතක කළ වැදූ මව පියා බලු කූඩුවට දමන ලෝකයේ එසේ වීම අරුමයක් නොවේ.
ලොව උතුම් රට ලංකාව යැයි කියන මිනිසුන්ට දැන් එසේ කිව හැකි ද? උතුම් රටක මෙවැනි අමනුස්සකම් සිදුවිය හැකි ද? සුදු කොඩි නොදමන එහෙත් සොබාදම් මෑණියන්ට නිතැතින්ම එය මළගමක් විය. විටෙක ඇයට මෙය සුනාමියක් විය හැකිය. විටෙක මෙය ඇයට පාස්කු ප්‍රහාරයක් විය හැකිය. දිනෙන් දින කෙලසන ‘වන’ සම්පත ඇයට ත්‍රස්තවාදී ප්‍රහාරයකි. අමුඅමුවේ රූස්ස මළ කඳන් ගොඩ ගසා සොබාදම් මෑණියන්ට මේ දෙන අසීමාන්තික වේදනාව මිහිපිට පලදෙනු ඇත. හයක් හතරක් නොදැන මෙලොව එළිය දකින කිරිකැටි සිඟිත්තන් හට මෙයට වන්දි ගෙවීමට සිදුවීම ගැන ඇත්තේ මහත් කනගාටුවකි.
ඔබ දන්නවා ද ‘වන’ සම්පත විනාශ කිරීමෙන් රටේ ජලපෝෂක සිඳී ගොස් කාන්තාරයක් වූ පසු ඔක්සිජන් පවා මුදලට ගැනීමට සිදුවන බව. ගස් නොමැතිව ඔබ අපට ජීවත්වීමට දිනකට ඔක්සිජන් ලීටර් 550ක් අවශ්‍ය වේ. වෙළෙඳපොළේ ඔක්සිජන් ලීටරයක මිල රුපියල් 80කි. එසේනම් ඔක්සිජන් අවශ්‍යතාවේ වටිනාකම රුපියල් 44,000කි. එහෙත් සෑම දිනකම ගසක් එය අපට නිර්ලෝභීව නොමිලේ හිමිකර දෙයි.
සියටැල් වැනි නායකයින් අතීතයේ සොබාදහමේ වටිනාකම ගැන කියමන් ඉදිරිපත් කළේ කට කහනවට නොව එයයි සැබෑ යථාර්ථය. එය අප හොඳින් වටහා ගතයුතු කරුණකි. කිසි දිනක ඔබට, මට මුදල් ආහාරයට ගත හැකි ද? කාසිවලින් අපගේ පිපාසය සංසිඳුව ගත හැකි ද? බලයට ප්‍රාණය ලබාගත හැකි ද? එය එසේ වූවා නම් දැනටමත් මේ ලක් දෙරණ කාන්තාරයක් වී හමාරය.
රූස්ස ගස්වල අවසන් හුස්ම අපගේ ද අවසන් හුස්ම යැයි නොදන්න වන සම්පත කෙලසන අනුවණ මිනිසුන් අනාගතයේ ඔවුන්ගේ මළගම තමන් විසින්ම තනා ගනු ඇත. රටේ අනාගත පරපුර හැටියට මේ විනාශයට තිත තැබිය යුතු නොවේ ද? කුඩා, වැඩිහිටි අප සියල්ල මේ සඳහා එකා මෙන් පෙළගැසිය යුතුය. අපගේ හුස්ම රැඳී ඇත්තේ අන් කවරකු අත නොව එය ඇත්තේ අප අතෙහිය. ඔබේ ජීවිතයට වටිනාකමක් දෙන්න. සොබදම් මෑණියන්ට ගසක් රෝපණය කරමින් කළගුණ සලකන්න අද සිට පටන් ගන්න. පරිසරයට ආදරය කරන්න. එසේ නොවුණහොත් ගස් කපා අවසානයේ ජලපෝෂක සිඳී ගිය පසු බැතිමතුන් සේ පිරිත් කියා, තුන්තිස් පැයේම බෝධි පූජා පවත්වා වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කරාට වැසි නොවසින බව හොඳින් සිහි තබාගත යුතුය. අපේ පරිසරය අපගේ දෙනෙත් මෙන් ආරක්ෂා කර ගනිමු. එවිට ඔබෙත් මගෙත් අනාගත දරුවන්ගේත් හුස්ම පොද කාසිවලට යට කිරීමට අවැසි නැත.
චමිල්කා හර්ෂණී