අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු. හැමෝම එක වගේ ඉපදෙනවා, හැදෙනවා, වැඩෙනවා, ඇවිදිනවා, ඉගෙන ගන්නවා, රැකියාවක් කරනවා, ආදරය කරනවා, හරි හම්බ කරනවා, හැමෝගෙම ජීවිතය ඒ වගේ. ඒ අතර අපි හැමෝටම හීන තියෙනවා. අරමුණු තියෙනවා අධිෂ්ඨාන තියෙනව, බලාපොරොත්තු තියෙනවා. ඒත් ඒ අරමුණුවලට ඒ හීනවලට යන්න හැමෝටම කෙටි පාරවල් නෑ. ඒ නිසා ගොඩ දෙනෙක් ඒ ගමන අතරමඟ අතාරිනවා.. එක්කෝ වෙන පාරකට හැරෙනවා, නැත්නම් පහසු තැන නවතිනවා.
ඒ අතරේ හරිම ටික දෙනෙක් සාමාන්‍ය දේට වඩා එහා ගිය දේවල් කරනවා. තමන්ගේ හීන බලාපොරොත්තු අරමුණු වෙනුවෙන් එහෙම දේවල් කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්නනවා. ඒ වෙනුවෙන් වැඩ කළොත් කැපවුණොත් හීන හීනම විතරක් නෙවෙයි කියලා ඒ අය ඔප්පු කරනවා. හිතලා බලන්න අපි දෙයක් බෑ කියලා කියන්නේ, අපිට කලින් කවුරු හරිදේ කරලා තියෙන හින්දා. ඉතින් ඇයි අපිට බැරි ඒ දේ කරන්‍න. කාටවත් පේන්න කාටවත් රිද්දන්න නෙමෙයි.., අපිත් අනිත් හැමෝම ඉන්න තැන නෙමෙයි ඉන්නෙ කියලා අපිටම දැනෙන්න දෙයක් කරන්න. බැරිකම කියන්නේ බැරිකමටම නෙවෙයි. බැරිකම තියෙන්නේ එක විදිහකට බැරිනම් තව විදිහකට බැරි දේවල් කරන්න පාරක් හොයාගන්න පුළුවන් කියල කියන එකට. එකම දේ එකම විදිහට කරලා වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ඔව්. අපිට වෙනස් ප්‍රතිඵලයක් ඕන නම් ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒක අමාරුයි තමයි. ඉතින් ඒක අමාරුයි නම් ලේසියෙන්ම අපිට පුළුවන් අනිත් අය වගේ ඉන්න. හැබැයි ඔයාට ඕනි අනිත් අයට වඩා වෙනස් කෙනෙක් වෙන්න නම්, අනිත් කෙනාට හොයාගන්න බැරි පාරක් හොයාගන්න වෙනවා. එයා නොකරපු දෙයක් ඔයාට කරන්න වෙනවා. චූටිම කාලේ ඇවිදින්න ගිහින් බිමට වැටෙද්දී එල්ලි එල්ලී හරි නැඟිටින්න ක්‍රමයක් හොයාගත්තේ නැත්නම් අපි තාම බඩ ගානවා. කිරි බොන පොඩි එකෙක් වෙලා ඒ තරම් නිර්භීතකමක් අපිට තිබුණනම් අතපය හයිය තියෙන මොළේ වැඩ කරන වැඩුණු මිනිස්සු වෙච්ච ඔයාට මට කොයිතරම් දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනෙද?
මේ ලෝකේ හැම ජීවිතයක්ම වටිනවා. හැබැයි අපිට ඕනේ වටිනාකමක්, තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වටිනාකම හදාගන්න අපිට පුළුවන් වෙන්න ඕන. එදාට අපිව ඕන වෙන අයට ඒ වටිනාකම ගෙවන්න වෙනවා. එහෙම නැති වුණොත් එදාට වෙන්නේ ඒ අයට අපිට වඩා වටිනාකමින් අඩු කෙනෙක් හොයාගන්න වෙන එක. ඒ නිසා අමාරුවෙන් හරි ඒ වටිනාකම හදාගන්න. ඔයාව වටින්නේ ඔයාට නිසා. අනිත් අය ඔයා ළඟට එන්න ඕනේ ලාභ නිසා නෙවෙයි, කොලිටි නිසා. එදාට ඔයාගේ වටිනාකම කීය වුණත් එයාලා ඒ වෙනුවෙන් ගෙවාවි. ඒ වෙනකල් අපිට තියෙන්නේ ජීවිතේ අමාරු හරිය අල්ලගෙන ඉන්න. ජීවිතේ එන්න පුළුවන් නරකම නරක දවසටත් තියෙන්නේ වෙනදට තියෙන පැය විසිහතරම විතරයි. ඒක නිසා ඒ දවසත් ගෙවිලා යනවා. ඊට පස්සේ එන දවස ඒ තරම් නරක වෙන්න විදිහක් නෑ. ඒ හින්දා ඔයාට ඉන්න වටිනාම කෙනා ඔයා වෙන්න. ඒ වටිනාකම හදාගන්න මහන්සි වෙන්න.
තිළිණ ගාල්ලගේ
“සියලුම වෘක්ෂලතාවෝ කපා දැමූ පසු
සියලුම ගංඟාවෝ සිඳී ගිය පසු
අන්තිම මාළුවා ද අල්ලා ආහාරයට ගත් පසු
මිනිසා තේරුම් ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව”
– රතු ඉන්දියානු ජාතික සියැටල්