- පාඨක ගැටලු සහ පිළිතුරු
- ඔබේ සෞඛ්‍ය ගැටලුවත් අපට යොමු කරන්න
- දිනමිණ, සුව හමුව, ලේක්හවුස්, කොළඹ 10
- news.dinamina@lakehouse.lk
ප්රශ්නය – ක්‍රීඩා සඳහා දස්කම් දක්වන මාගේ දියණිය එම පුහුණුවීම් සඳහා සැලකිය යුතු කාලයක් අව් රශ්මියේ රැඳෙනවා. මෑතකදී ඇය පිට ප්‍රදේශයේ තදබල කැක්කුමක් පිළිබඳ කියා සිටියා. වෛද්‍යවරුන් එය මුත්‍රා ගල් නිසා ඇතිවන්නක් බවට හඳුනා ගත්තා. ඒත් ප්‍රතිකාර නවතා ටික කලෙකින් නැවත එම තත්ත්වය ඇතිවී තිබෙනවා. මෙයට බලපාන කරුණු මොනවාද?
කාන්ති – වැලිවේරිය
පිළිතුර – මාර්තු, අප්‍රේල් මාසවලදී මෙරටට ඉර මුදුන්වීම බොහෝ විට සාමාන්‍ය තත්ත්වයක්. අධික අව් රශ්මියක් එකල එක එල්ලේ පොළොවට යොමු වෙනවානේ. මෙහිදී එළිමහනේදී අධිකව දහදිය දමනවා. සිරුරේ ඇති ජලය, ලවණ දෙකම ඒ ඔස්සේ අධිකව සිරුරින් පිටතට යෑමක් දක්නට පුළුවන්. ඊට පිළියමක් වශයෙන් වෙනදාට වඩා වැඩිපුර ජලය පානය කිරීමට කවුරුත් සිතට ගත යුතු වෙනවා. නොඑසේ නම් ක්ලාන්ත ගතිය, වමනය, නිදිමත ඇතිවීම, ආහාර අරුචිය ආදී ලක්ෂණ මතුවී පෙනෙන්නට පුළුවන්.
විශේෂයෙන් හමුදා පුහුණුවීම්, පාසල් ක්‍රීඩා උත්සව සහ ඒ ආශ්රිත පුහුණුවීම් කටයුතු, ඉදිකිරීම් වැඩබිම් ආශ්‍රිතව එළිමහනේ වැඩ කිරීම් ආදී අවස්ථාවලදී අධික වෙහෙසක් වෙමින්, දැඩි අව් රශ්මියේ වැඩි වේලාවක් රැඳී සිටීමට ඇතැමුන්ට සිදු වෙනවා. එවිට අඩුවෙන් ජලය පානය හෝ ලවණ අඩංගු ස්වාභාවික පාන වර්ග ආදිය නොගැනීම නිසා තාප කම්පන තත්ත්වයන්ටත් ජනතාව පත් විය හැකියි. එය මරණය ළඟාකරවීමට තරම් කරුණක් බව කිව යුතුයි. එහෙත් සමහරුන් තවම එය එතරම් දැඩිව නොසැලකීම කනගාටුවට කරුණක්. ජලය මෙන්ම දෙහි, දොඩම්, නාරං, තැඹිලි, දෙළුම් ආදී ස්වාභාවික පාන වර්ග ගැනීම හරහා ලවණ, පොටෑසියම් ආදිය සිරුරට එකතු කර ගත හැකියි. එසේම ආහාර පිසීමේදීත් ලුණු, දෙහි ස්වල්පයක් එකතු කර ගැනීමත් මෙහිදී වැදගත්. අධික හිරු රශ්මියට ඔරොත්තු දෙන පරිදි සැහැල්ලු කපු ඇඳුම් ආදියෙන් සැරසී සිටීම නුවණට හුරු බවත් මෙහිදී කිව හැකියි.
ළමුන් ඇතුළු කවුරුත් දිනකට දෙවරක්වත්, මිනිත්තු 20ක් වත් වන පරිදි ස්නානයටත් අධික උණුසුමක් ඇති දිනවලදී අමතක නොකළ යුතුයි. පාසල් යන වයසේ කුඩා දරුවන්ට වෙනදා දෙන වතුර බෝතලයට අමතරව තවත් එකක් යැවීම වැදගත් වන්නේ අඩු නැතිව ජලය පානය කිරීමේ අවශ්‍යතාව තවදුරටත් අවධාරණය කරනු පිණිසයි. කෙසේ වෙතත් නැවත මුත්‍රාගල් නිසා වේදනාවක් ඇති වුවහොත් සුදුසුකම් ලද වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගත යුතු වෙනවා.
ප්රශ්නය – මාගේ වයස අවුරුදු 10ක් වන කුඩා පුතුට මසකට පමණ පෙරදී චිකුන්ගුණ්යා වයිරස් උණ රෝගී තත්ත්වය වැලඳුණා. උණ ටික දවසකින් අඩු වුවත් ඇඟපත රුදාව, සන්ධි වේදනාවන් පුතුට තවම තිබෙනවා. ඒ නිසා දරුවා ක්‍රියාශීලි නැහැ. මෙය දිගු කලක් පවතීද?
සමන්ති – මීරිගම
පිළිතුර – “මේ තත්ත්වය චිකන්ගුණ්යා කියලා සරලව හඳුන්වනවා. මෙය උණ රෝගයක්. වයිරසයකින් බෝ වෙන්නේ. ඒ වයිරසය පතුරුවා හරින්නේ මදුරු විශේෂයක්. අප්‍රිකානු කලාපයෙන් මුලින් වාර්තා වුණත් දැන් මදුරුවන් සිටින අප වැනි රටවලිනුත් අඩු නැතුව මේ රෝගීන් හමු වෙනවා. උණ වගේම අස්ථි, හන්දි, මස්පිඬු වේදනාව තදින් මේ රෝගීන්ට ඇතිවෙනවා. අත් පා, නාසයේ කළු පැහැ ලප ඇතිවීමත්, හිසරදය ආදියත් කලක් යනතුරු මේ රෝගීන් තුළ පැවතිය හැකියි. පාදවල, ඇඟේ ලප ඇතිවන්නට පුළුවන්. නාසය කළු පැහැ ගැන්වීමකුත් ඇතැමුන්ගෙන් දක්නට පුළුවන්. ඇතැම් විට මාස ගණනක් යනතුරුත් මෙහි ලක්ෂණ පවතිනවා. ඒත් වයිරස් රෝග තත්ත්වයක් නිසා නිශ්චිත ප්‍රතිකාර මේ සඳහා නැහැ. පැරසිටමෝල්, වේදනා නාශක ආදී ඖෂධයි දෙන්නේ. විවේකය මේ රෝගීන්ට ඉතා වැදගත්. ඇවිද ගැනීමට අපහසුතා, සන්ධි වේදනා, එක ඉරියව්වකින් සිටීමෙන් පසුව නැවත නැඟිටීමේ අපහසුතා ආදිය මේ තැනැත්තන්ගෙන් දක්නට පුළුවන්.
ඇත්තෙන්ම, මදුරුවන් බෝවන තැන් විනාශ කරමින්, අවට පරිසරය පිරිසුදුව තබා ගන්නවා නම් මෙහෙම දෙයක් වෙන්න ඉඩක් නැහැ. ඒක හැමෝගෙම වගකීමක්. නිවහන පමණක් නෙවෙයි, අවට පරිසරයේ පාසල්, රෝහල්, පොදු ස්ථාන විතරක් නෙවෙයි, වැඩි දෙනකු නොරැඳෙන පාළු ඉඩකඩම්, නිතර මිනිසුන් නොරැඳෙන ඉදිකිරීම් වැඩබිම් ආදියේත් ඩෙංගු වගේම චිකුන්ගුණ්යා ආදී වයිරස් රෝග පතුරුවන මදුරුවන් කොතෙකුත් බෝ වෙනවා. මේ බරපතළ වගකීම සමාජයේ කාටත් පොදුයි. එහෙම නැතිව සෞඛ්‍ය අංශවලට, පළාත් පාලන ආයතනවලට හෝ තනිව මේ උවදුරෙන් අප මුදවිය නොහැකියි. අපි කවුරුත් ගෙවත්ත පිරිසුදු කිරීමට දිනපතා කෙටි කාලයක් හෝ මිඩංගු කළ යුතුයි. එවිට සමාජයෙන් ඩෙංගු ආදී වයිරස් රෝග මුලිනුපුටා දැමීම අපහසු නැහැ….”
උපදෙස් – රිජ්වේ ආර්යා
ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
සටහන – නුවන් ජයවික්‍රම