දියවැඩියාවට පෙර-වදනක් !
3 කොටස
මානව පරිණාමයේ සහ ශිෂ්ටාචාරයන්හි හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස සිදුවූ ධාන්‍ය පිටි බවට පත්කර ආහාර සැකසීමත් දියවැඩියාවත් අතර වූ සම්බන්ධය යම්තාක් දුරකට කතාබහට ලක් කළ බව ඔබට මතක ඇති.
එය පළමු හැරවුම් ලක්ෂ්‍යය ලෙස පිළිගතහොත්, අද අප කතා කරන්නට යෙදෙන්නේ මෑත ඉතිහාසය තුළදී සිදුවූ ඛේදජනක දෙවැනි හැරවුම් ලක්ෂ්‍යය පිළිබඳයි. මේ පිළිබඳ කතා බහ නොකොට දියවැඩියා රෝගය පිළිබඳව පමණක් විස්තර ගෙන ඒම නුසුදුසු යැයි සිතමි.
විවිධ සම්භවයන් සහිත වුවද, “අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ ආබාධගත තත්වයක්, නොහැකියාවක් හෝ නිපදවූ ඉන්සියුලින් ශරීරයේ සෛල තුළ ක්‍රියාත්මක වීමෙන් ඇතිවන ගැටලුසහගත තත්ත්වය” දියවැඩියාවේ සරලතම නිර්වචනය ලෙස මතක තබාගෙන ඉදිරියට යමු.
1953 වසරේදී ඇන්සෙල් කීස් (Ancel Keys) නම් වසංගත රෝග විශේෂඥයා විසින් “රටවල් හතේ පර්යේෂණ වාර්තාව” මැයෙන්, රටවල් හතකින් (ඉතාලිය, එංගලන්තය,වේල්සය,ඔස්ට්‍රේලියාව,කැනඩාව සහ අෙමරිකා එක්සත් ජනපදය) එකතු කරගත් දත්ත මත පදනම්ව ඉදිරිපත් කරන්නට යෙදුණු පර්යේෂණ වාර්තාවක සඳහන් වූයේ මේදය අධික ආහාර භාවිතය තුළින් හෘද රෝග ප්‍රමාණාත්මක ලෙස ඉහළ යන බවයි. එසේම රුධිරගත කොලෙස්ටරෝල් මට්ටමද ඉහළ යෑම කෙරෙහි මේදය සෘජු ලෙසම බලපාන බව ඔහු ගෙනහැර පෑවේය.
ලේඛන පිළිබඳ පශ්චාත් උපාධියක් හෙබවූ ආචාර්ය Jacob Yerushelmy සහ වෛද්‍ය Herman Hilleboe විසින් ජපානය, ප්‍රංශය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ ඕලන්දය ආශ්‍රිතව කරන ලද Ancel Keys ගේ පර්යේෂණයට සමානම පර්යේෂණයක් හරහා ඇන්සල් කීස් ගොඩනැංවූ තර්ක සාක්ෂි සාධක සහිතව බිඳ දමන ලදි. පසුකාලීනව කරුණු අනාවරණය වූයේ ඇන්සල් කීස්ගේ පර්යේෂණය ව්‍යාජ කරුණු මත පදනම්ව ගොඩනැංවූ පර්යේෂණ වාර්තාවක් බවත් ඔහු රටවල් හතක දත්ත ඉදිරිපත් කළත් ඇත්ත වශයෙන්ම ඔහු සතුව රටවල් 22ක දත්ත තිබූ බවත් ඔහුගේ හිතුමනාපය පරිදි ඔහුට ඔප්පු කිරීමට අවශ්‍ය කාරණයට සැසඳෙන රටවල් හතක් පමණක් තෝරා ගෙන වෘත්තියට පවා නොගැළපෙන ආකාරයට කටයුතු කර ඇති බවයි.
මේ අතර ඉහත කී පර්යේෂණයේ ව්‍යාජත්වය නොසලකා හැර වසර 1977 දී අමෙරිකාව සඳහා නවමු පෝෂණ ඉලක්ක(Dietary goals) සපුරා ගැනීම උදෙසා ගැටලුසහගත ලෙස ප්‍රධාන වශයෙන් පසුබිම් කරගනු ලැබුවේ මෙම ඇන්සල් කීස්ගේ පර්යේෂණ වාර්තාවල නිරීක්‍ෂණ,නිගමන සහ නිර්දේශයන් වේ.
ඉමහත් බහුතර පෝෂණවේදීන්ගේ සහ වෛද්‍යවරුන්ගේ විරෝධය හමුවේ පවා එවකට අමරිකානු සෙනෙට් සභික ජෝර්ජ් මැක් ගොවෙන් (George Mc Goven) විසින් අමෙරිකානු ප්‍රජාවේ පෝෂණ ඉලක්කයන් ලෙස ආහාර වේලක අඩුම වශයෙන් කාබෝහයිඩ්‍රේඩ 60% කට නොඅඩු ප්‍රමාණයක් සහ මේදය 10% කට නොවැඩි ප්‍රමාණයක් අන්තර්ගත යුතු විය යුතු යැයි සභා සම්මත කරන ලදී.
දියවැඩියාව, හෘද රෝග ඇතුළු බෝනොවන රෝග බොහොමයක එක්වරම හිස එසවීම මෙම තීරණය ගනු ලැබූ කාලසීමා හා සමානුපාතික වීම නිරීක්ෂණය කළ හැකියි.
එසේම 1980 මුල් අවධියේ සිටම ඉහත කී කරුණු ද සලකා බලා USDA යටතේ එවකට අමෙරිකානු ප්‍රධාන පෝෂණවේදී Luice Light වෙත නව ආහාර මාර්ගෝපදේශයක් නිර්මාණය කිරීමේ වගකීම පවරන ලදි. ඒ යටතේ ඔහු ප්‍රධාන කොට වූ කාර්ය මණ්ඩලය විසින් වසර 1991 දී අප කවුරුත් දන්නා ආහාර පිරමීඩය ලොවට හඳුන්වා දෙන ලදි.
එහෙත් ඉතාමත් ඛේදජනක ලෙස ප්‍රකාශනයට පෙර අවසන් සංශෝධනයේදී ඔහු විසින් නිර්දේශ කරන්නට යෙදුණ දවසකට ගත යුතු උපරිම පිෂ්ටය කොටස් 3-4 වෙනුවට අද දිනටත් නොපැහැදිලි අදිසි හස්තයක් විසින් එම නිර්දේශය පිෂ්ටය කොටස් 6-11 දක්වා ඉහළ දමා තිබුණි. ඒ පිළිබඳ ඔහු කළ විමසීමේදී දැනුම් දී තිබුණේ ආහාර සලාක මහජනයා වෙත ලබා දීමේදී එළවළු, පලතුරු, මස් මාංස ලබා දීම දැරිය නොහැකි ලෙස වියදම් අධික තත්වයක් නිසා ආහාර පිරිමීඩයේ අවසාන සංශෝධනය මෙසේ සකස් වූ බවයි.
අමෙරිකාව ලොව පුරා ප්‍රචලිත කිරීමට යෙදුණ විවිධ ව්‍යාපෘති හරහා ලෝකයේ බොහෝ රටවල අධ්‍යාපනික, සෞඛ්‍ය විෂය නිර්දේශයන්හි අත්‍යවශ්‍ය අන්තර්ගතයක් ලෙස මේ පෝෂණ පිරමීඩය එක් කරන ලදි. ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ මම ඇතුළු සියලු දෙනාද පාසල් සමයේදී මෙම පෝෂණ පිරමීඩය හැදෑරූ බව මතක ඇති.
බටහිරින් පැමිණෙන සෑම දෙයක්ම හිස් මුදුනින් පිළිගෙන ඒ අනුව කටයුතු කර ලබාගත් ප්‍රතිඵල, අද අප ජන ප්‍රජාවගේ බෝ නොවන රෝග ලෙස බැලූ විට සක්සුදක් සේ පැහැදිලි වේ. මෙම තත්ත්වය පෝෂණ පිරමීඩයට පමණක් ලඝු කළ යුතු නැත. රටක ජනතාවගේ පෝෂණ සුරක්ෂිතතාව රටේ ජාතික ආරක්‍ෂාව හා සමානවම වැදගත්වේ. අතීත ශිෂ්ටාචාරයක ජන ප්‍රජාවගේ ආහාර රටා, පුරාවිද්‍යාත්මක අවශේෂ මඟින් විද්‍යානුකූලව තීරණය කරනු ලබන්නේ එම අවශේෂ කොටස්වලින් නිස්සාරණය කරගත් නයිට්‍රජන් -15 සමස්ථානිකය විශ්ලේෂණය කිරීම මගිනි. මෙහිදී ඉමහත් විමතියට තුඩුදෙන කාරණය වන්නේ Artophagoi(ආටොෆගොයි) එසේත් නැතිනම් Bread Eaters (පාන් ආහාරයට ගන්නන්)ලෙස වසර හාරදාහකට පමණ අනෙකුත් ශිෂ්ටාචාරයන් අතර ප්‍රසිද්ධ වූ ඊජිප්තු ජනතාවගේ මමිකෘත දේහයන්වල ආහාර කොටස් මඟින් ලබාගත් නයිට්‍රජන්-15 සමස්ථානිකයේ පෝෂණ විශ්ලේෂණ අගයන් 1991 නිකුත් කරන්නට යෙදුණ ආහාර පිරමීඩයේ පෝෂණ අගයන් හා සමපාත වීමයි. දියවැඩියාවේ මුල් රූපකයන් ලෙස මිසර ශිෂ්ටාචාරයේ ජන ප්‍රජාව හමුවීමත්, 1977 -1991 කාලසීමාව තුළදී එක්වරම මුළු ලෝකයේම දියවැඩියා රෝගීන් ඉහළ යාමත් හුදෙකලා සිදුවීම් ලෙස බැහැර කළ නොහැකියි. වසර තුන් හාරදහසකට පෙර සිදුවූ දෙයක් නොදැනුම්වත්කම නිසා යැයි සැලකිය හැකි වුවද මෑත ඉතිහාසයේදී ආහාර පිරිමීඩය හා සම්බන්ධව සිදු වූ ක්‍රියාකාරකම් සුළුකොට තැකිය නොහැකිය.
මෙම ලිපිය හරහා ඔබ ලබාගත් දැනුමද උපයෝගී කරගෙන දියවැඩියාවේ පළමු ප්‍රභේද දෙකේ වෙනස්කම් ඉදිරියේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන අතර, රෝග විනිශ්චය හා ප්‍රතිකාර ක්‍රමද ඉදිරි ලිපි හරහා කියවමු.
වෛද්‍ය – ඩී. එම්. අමරසේකර