(පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.)
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න සිංහල අධ්‍යයන අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
දළදා වහන්සේගේ සුරක්ෂාව ගිහියන්ටත් වඩා බුද්ධ පුත්‍ර භික්ෂූන් අත රැඳුණු බව දළදා වහන්සේ පිළිබඳ ශ්‍රී ලංකාවේ සටහන් වූ ඉතිහාසය සාක්ෂි දරයි. මෙහි දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවධි දෙකක් අවධාරණය කළ යුතු වෙයි. සීතාවක, කෝට්ටේ හා සෙංකඩගල අතර පැවති බලඅරගල සහිත කාලපරිච්ඡේදය එක් යුගයකි. උඩරට ගිවිසුමත් සමඟ ඉංග්‍රීසීන් අතට උඩරට රාජ්‍යය පත්වූ යුගය දෙවැනි කාල පරිච්ඡේදයයි.
උඩරට රාජධානිය රාජ්‍යත්වයක් කේන්ද්‍ර කර ගනිමින් තහවුරු වූයේ පළමුවැනි විමලධර්මසූරිය රජුගේ පදවිප්‍රාප්තිය සමඟ වුව ද උඩරට රාජ්‍යයේ බලය ඒතාක් නිශ්චිත පාලකයකු යටතේ එක්සත් වී නොපැවතියේ ය. එය තරමක් අවුල්සහගතව පැවතුණු බව කරුණු පරීක්ෂාවේ දී පෙනේ. මෙසේ වීමට හේතුව උඩරට රාජධානියේ ක්‍රමික වර්ධනයට අදාළ ඓතිහාසික මූලාශ්‍රවල හිඟය ද වීමට පුළුවන.
පසළොස්වැනි සියවසේ හයවැනි පරාක්‍රමබාහු (1411-1467) රජතුමා කෝට්ටේ රාජ්‍යයේ පාලනය ගෙනගිය සමයෙහි මහනුවර හෙවත් සෙංකඩගල පෙදෙසේ රජ කෙනෙක් නොසිටියේ ය. ඒ පෙදෙස පාලනය කරන ලද්දේ කෝට්ටේ රජතුමාගේ අණපනත්වලට යටත්ව ජෝතිය නම් සිටුවරයා සහ ගම්පොළ ආදිපාදවරයා විසිනි. මේ සමයේ ද දළදාව නිශ්චිත තැනක වඩාහිඳුවා තිබෙන්නට ඇති. නමුත්, ඒ උඩරට නොවන්නට ඉඩ ඇත. මේ අතර හයවන පැරකුම් රජුගේ අභාවය ද සිදුවූයෙන් උඩරට පාලනය සඳහා පුද්ගලයන් අතර තරගකාරීත්වයක් ගොඩනැඟී තිබිණි. ගම්පොළ රජ පෙළපතට ද යම් යම් සම්බන්ධයක් ඇති සේනාසම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරයෙක් ගම්පොළ රාජ්‍යය තුළ පාලනය ගෙන ගියේය. ඔහු ගම්පොළ පාලනය කරන කාලයේ සෙංකඩගල නම් ස්ථානය ජයභූමියක් බවට කරුණු අනාවරණය වීම නිසා වික්‍රමබාහු රජු සෙංකඩගල වෙත ද යම් උනන්දුවක් දැක් වූ බව පෙනේ. එහෙත් ඒ අතර ඔහුගේ අභාවය ද සිදු වූ නිසා ජයවීර නම් පාලකයෙක් ක්‍රි.ව 1551 දී ගම්පොළ රජ වූයේ ය.
උඩරට පාලන බලය
ඒ අතර උඩරට රාජ්‍යයේ සිටි ප්‍රභූවරයකු වූ කරල්ලියද්දේ ජයවීරගේ කටයුතු සඳහා බාධා කරන්නට විය. කරල්ලියද්දේගේ දියණිය වූයේ දෝන කතිරිනා ය. මේ පිරිස කතෝලිකයන් ය. මේ නිසා පෘතුගීසි පාලකයන්ගේ සහාය ද මොවුනට ලැබිණි. ඔවුන්ට එරෙහිව සිටියේ සීතාවක රාජසිංහ රජු ය. කරල්ලියද්ද ඒ අතර මරණයට පත්වූයෙන් හිස් වූ උඩරට පාලනයට උරුමකාරිය වූයේ දෝන කතිරිනා ය. එහෙත් ඊට පෙර පෘතුගීසින්ගේ අනුග්‍රහය ලබාගත් දොන් පිලිප් හෙවත් යමසිංහ බණ්ඩාර, උඩරට පාලන බලය ලබාගත්තේ ය. සීතාවක රාජසිංහ රජු ද අභාවප්‍රාප්ත වූයෙන් අභ්‍යන්තර කුමන්ත්‍රණ හේතුවෙන් යමසිංහ බණ්ඩාර ද ඝාතනයට ලක්විය. ඒ අතරේ පෘතුගීසින්ගේ උත්සාහය වූයේ දෝන කතිරිනා, කිසියම් රූකඩ රැජිනක් ලෙස තබාගෙන උඩරට පාලනය පවත්වාගෙන යන්නටය. දොන් ජුවන් යනුවෙන් නමක් දරාගත් කොනප්පු බණ්ඩාර ජවසම්පන්න තරුණයකු විය. ඔහු ද ලබ්ධියෙන් කතෝලික වූයේ ය. ඔහු පිළිබඳ පෘතුගීසින්ගේ සැකයක් නොවූ නමුත් දන්තුරේ දී කොනප්පු බණ්ඩාර විශාල සේනාවක් රැගෙන විත් එතැනට පැමිණි පෘතුගීසි පිරිස වනසා ජය ගත්තේ ය. මෙය අවස්ථාව කරගත් කොනප්පු බණ්ඩාර එතෙක් තමන් දරාගෙන සිටි කතෝලික ලබ්ධිය හැර දමා බෞද්ධාගමිකයකු බවට පත්ව දෝන කතිරිනා විවාහ කරගෙන පළමු විමලධර්මසූරිය නමින් ක්‍රි.ව 1592 දී උඩරට රජු බවට පත්විය. දෝනකතිරිනා යන නාමය ද කුසුමාසන දේවි ලෙස මේ සමඟ වෙනස් විය. දළදාව මේ වනවිට මහනුවරට වැඩම කරවන ලද නමුත් පෘතුගීසින්ගේ කරදර නිමා නොවී තිබීම හේතුවෙන් විමලධර්මසූරිය රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් ඔහුගේ ඥාති සොයුරු සෙනරත් රජුගේ දැනුම්වත්කම ද ඇතිව දළදාව මැද මහනුවරට වැඩමවනු ලැබිණි.
සීතාවක, කෝට්ටේ හා සෙංකඩගල අතර රට අභ්‍යන්තර බලඅරගල සිදු වූ කාලයේ දී දළදාව වඩා නිරුපද්‍රිත ස්ථානවල රැඳවීමේ කාර්යය භික්ෂූන් වහන්සේ අතින් නොපිරිහෙලා ඉටුවිණි. කෙවුළුගම තුඩපත නම් ලේඛනය පරීක්ෂා කිරීමේ දී රඹුක්වැල්ලේ රතනජෝති ස්ථවීර ලෙස එහි හැඳින්වෙන භික්ෂුව විසින් දළදාව නොයෙක් ස්ථානවල රඳවමින් එය ආරක්ෂා කරගත් බව කියවේ. එහි සඳහන් පරිදි මැද මහනුවරට සිට දළදාව කෙවුළුගමටත් එතැනින් මීමුරේටත් වැඩම කෙරිණි. එහිදී රතනජෝති ස්ථවීරයන්ට නාවිනේ නායක හිමි, පොතුහැර උන්නාන්සේ, කනුමලේ උන්නාන්සේ වැනි භික්ෂූහු ආධාර වූහ. නැවත මැද මහනුවරට සතුරු බියක් පැමිණි බවත් එහි දී උඩසියපත්තුවේ සහ ගම්පහ අතර වූ වනදුර්ගයක් වූ නවතගල කන්දට දළදාව වැඩමවූ බවත් ඉතිහාසයේ සඳහන් ය. ඒ හැම විටකම ඇතිවන සතුරු කරදරවල දී යළිත් මැද මහනුවරටත් කුණ්ඩසාලේ විහාරයටත් එයින් බූවැලිකඩටත් දළදා වහන්සේ ගෙන යනු ලැබූ බව සඳහන් වේ. එවන් සෑම අවස්ථාවකදීම දළදා වහන්සේ විෂයයෙහි පැවැත්විය යුතු වූ දානමාන ආදිය හා දැහැත්, ගිලන්පස ආදී පූජාවන් කිරීමට මේ භික්ෂූන් වහන්සේලා සැලකිලිමත් වූහ. රඹුක්වැල්ලේ රතනජෝති ස්ථවීරයන් විසින් සැපයුණු තවත් ලේඛනයක් මේ අතර පවතියි. එහි දී උන්වහන්සේ දළදාව උදෙසා විඳි වෙහෙස සඳහන් වෙයි. මෙම දළදා වහන්සේ වැඩසිටි ඒ ඒ තැන්වල දී රඹුක්වැල්ලේ භික්ෂුව වන මා විසින් බොහෝ සේ දුක් විඳ වැඩරාජකාරි කෙරෙව්වායි එහි දැක්වෙයි. එතැන් පටන් භික්ෂූන් වහන්සේලා දළදා වහන්සේ නොයෙක් ස්ථානවල සඟවනු ලැබීය. එය මහනුවරට වැඩම කරවනු ලැබුවේ දෙවන රාජසිංහ සමයේදීය.
උඩරට ගිවිසුම
සිංහලයේ අවසන් රාජධානිය බිඳ වැටී 1815 මාර්තු 02 වැනි දින උඩරට ගිවිසුම මඟින් උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ට අයත් වූ පසු දළදාව රැකීමට භික්ෂූන් වහන්සේලා කැප වූ ආකාරය මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න සිය ඥාන දර්ශන (2006) කෘතියේ විස්තර කරයි. පාලන බලය ලබා ගැනීමෙන් තොරව තර්ජනයකින් තොරව, එය ඉදිරියට පවත්වාගෙනයෑම සඳහා ඉංග්‍රීසින්ට ද රටවැසියාගේ හොඳ හිත දිනා ගැනීමට අවශ්‍ය විය. මේ නිසා දළදා වහන්සේ ඔවුන්ගේ භාරයේ තබා ගැනීමට උනන්දු වූයේ ය. එහෙත් ඉංග්‍රීන් හා යළි ගැටුම් ඇතිවීමත් සමඟ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහනායක කොබ්බෑකඩුවේ නාහිමියන්ගේ දැනුම්වත්වභාවය ද ඇතිව දළදාව පිටිගොඩටත් කිතුල්පේ ගමටත් වැඩමවන ලදි. අනතුරුව කොත්මලේ, පුසුල්පිටියටත් හිඳගලටත් වැඩම විණි. 1817-18 උඩරට නිදහස් සටනේ දී අස්ගිරි විහාරයේ වාරියපොළ සුමංගල හිමි දළදාව කැප්පෙටිපොළ දිසාවේට බාර දුන්නේය. දළදා වහන්සේගේ හිමිකාරත්වය තමන් සතුව තිබිය දී ඉංග්‍රීන්ට එරෙහි සටන සඳහා සිංහල ජනතා සහාය උපරිමයෙන් ලබාගත හැකි බව කැප්පෙටිපොළ දැන සිටියේය. කෙසේ වුවත් ඉංග්‍රීසින් ඉතා දරුණු ලෙස කැරැල්ල මැඬපැවැත්වීමත් සමඟ සුමංගල හිමිවූහ. යළි දළදාව රැගෙන වනගත වූහ. දළදා වහන්සේට ඇති ගෞරවය නිසා ම හේමමාලා, කරඬුවේ දළදා වහන්සේ වඩා හිඳුවා සිවුරේ රඳවා වම් උරහිසේ තබාගෙන පුද සත්කාර කරන්නට සුමංගල හිමියෝ කටයුතු කළහ. මාතලේ, කයිකාවල ප්‍රදේශයේ දී 1818 නොවැම්බර් 02වැනි දින සුමංගල හිමි ඉංග්‍රීන්ගේ අත්අඩංගුවට පත්විය. එම අවස්ථාවේ දළදා වහන්සේ ඉංග්‍රීසින්ගේ භාරයට ගෙන නිත්තවෙල විහාරයේ තැන්පත් කර තබා, පසුව මහනුවරට වැඩම කර තිබේ.
නිසි පූපෝපහාර
මේ ආකාරයෙන් දළදා වහන්සේ ආරක්ෂා කිරීම සඳහා රජවරු මෙන්ම මහා සංඝරත්නය ද ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර ඇත. දළදා වහන්සේ තම භාරයට ගැනීමෙන් පසු ඉංග්‍රීසීන් උන්වහන්සේ උදෙසා පූජෝපහාර පැවැත්වීමේ කටයුතු නිසි ලෙස ඉටු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස රට තුළ මහා නියඟයක් ඇති වූ බව කියවේ. කළ යුතු දෙයක් නොදන් සුදු පාලකයන් අවසානයේ මහා සංඝරත්නයේ හා උඩරට ප්‍රභූන්ගේ අදහස්වලට කන් දෙමින් දළදා මැඳුරෙන් පිටතට දළදා වහන්සේ වැඩමවා ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1828 දී මැයි මස 29වැනි දින නගරය ජලයෙන් යට වී යන තරමේ වැසි මහනුවරට ඇදවැටී තිබේ. අනතුරුව ඉංග්‍රීසි පාලකයන්ගේ අනුග්‍රහය යටතේ දළදා වහන්සේ උදෙසා පූජෝපහාර නිසිලෙස පවත්වනු ලැබීය. දළදා වහන්සේගේ භාරකාරත්වය තවදුරටත් තමන් යටතේ තබා ගැනීම සුදුසු නොවන බව වටහාගත් ඉංග්‍රීසීහු 1853 දී මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ හා දියවඩන නිලමේවරයාගේ භාරකාරත්වයට ලබා දුන්හ. ජීවමාන බුදුන් ලෙස සලකා අදත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා දෛනිකව පූජෝපහාර පැවැත්වෙන්නේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක හිමිවරු දෙනමගේ පැවිදි භාරකාරත්වය හා දියවඩන නිලමේවරයාගේ ගිහි භාරකාරත්වය යටතේ ය.
අසේල කුරුළුවංශ