Home » පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු විය යුතු ය

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු විය යුතු ය

by sachintha
April 21, 2025 1:00 am 0 comment

අපරදිග දිනදසුනේ අප්‍රේල් යනු අපේ දොළොස් මහට අනුව බක් මාසයයි. ‘භාග්‍යය උදා කරන මාසය’ යන අරුත දනවන එය ‘ඵලබර මාසය’ ලෙස ද හැඳින්වේ. සිංහල දමිළ අලුත් අවුරුද්ද යෙදී ඇති බැවින් මේ මාසය ශ්‍රී ලාංකිකයන්ට අතිශය වැදගත් ය.

එහෙත්, ඉතා මෑතකාලයේ සිට අපට අප්‍රේල් මාසය සමඟ සිහිපත් වන තවත් එක් අඳුරුබර මතකයක් ද වේ. ඒ, අප්‍රේල් මස 21 වැනිදා ය. 2019 වසරේ සිට අප්‍රේල් 21 යනු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ එක්තරා අඳුරු කළු පැල්ලමක් සටහන් වූ දිනයක් ලෙස සැලකේ. 2019 අප්‍රේල් 21 වැනි දිනට යෙදුණු පාස්කු ඉරුදින, කුඩා දරුවන් ඇතුළුව පුද්ගලයන් 269දෙනකු මරණයට පත් කරමින්, ළමයින් සිය ගණනකට තම මවුපියන් නෑහිතවතුන් අහිමි කරමින්, තවත් පිරිසක් සදහටම අබ්බගාත කරමින් සිදු කෙරුණු ඒ ම්ලේච්ඡ ප්‍රහාරයට අදට වසර 06ක් සම්පූර්ණ වෙයි.

පාස්කු දින සිදු වූ එකී ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 06ක් සම්පූර්ණ වන මේ මොහොතේත් අපට කියන්නට සිදුව ඇත්තේ එකී ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් සාධාරණය ඉටු වී නැති බවයි. එයින් පසු පැවති සෑම මැතිවරණයකදීම පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරනවාය යන්න දේශපාලන වේදිකාවේ ඡන්ද පොරොන්දුවක් බවට පමණක්ම පත්ව තිබිණි. මේ ප්‍රහාරයෙන් අනතුරුව පැවති ජනපතිවරණයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට බලය අත්කර ගැනීම සඳහා උත්තේජකයක් වූයේ ද මේ පාස්කු දින ප්‍රහාරයයි. ඔවුන්ගේ මැතිවරණ වේදිකාවේ ඉතා බරපතළ සටන් පාඨයක් වූයේ “ජාතික ආරක්ෂාව අනතුරේ” හෙළා ඇති බවයි. එබැවින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර ගනිමින් පොදුජන ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා තමන්ට බලය දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. මෙරට ජනතාව ද තමන්ට කන්න නැතත් ඉන්න රටක් තිබිය යුතු ය යන කාරණය පෙරදැරිව කිසිදු වගවිභාගයකින් තොරව 2015 දී ගෙදර යැවූ රාජපක්ෂ කල්ලිය යළි බලයට පත් කර ගත්තේ ය. ඉන් අනතුරුව ජාතික ආරක්ෂාව පමණක් නොව, ස්වකීය ජන ජීවිතවල ආරක්ෂාව ද කුණුකොල්ලයට දමමින් රට ඉතා අඳුරු ආගාධයට රැගෙන ගිය බව මෙරට අතීතය අමතක නැති ජනතාවට ඉතා හොඳින් මතක ය.

තම ආගම ඇදහීමට පල්ලියට ගිය කිතුනු ජනතාවට ස්වකීය ආගමික මධ්‍යස්ථානය තුළදීම සිය ජීවිත අහිමි වීමට ලක්වීම ඉතා බරපතළ ඛේදවාචකයකි. මිනිසත්කම අගයන කවර හෝ තත්ත්වයක් යටතේ එය සිදු නොවිය යුතු තත්ත්වයකි. බොහෝ දෙනා එය අර්ථගැන්වූයේ වළක්වාගත හැකිව තිබූ ප්‍රහාරයක් වළක්වා නොගැනීම සම්බන්ධවයි. එවකට රාජ්‍යයේ බලධාරීන්ව සිටි කිහිප දෙනකුට ඒ පිළිබඳ චෝදනා එල්ල වී තිබිණි. බුද්ධි අංශ වාර්තා මඟින් පෙන්වා දී තිබියදීත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් පසුගියදා ඔවුන්ට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ද දී තිබිණි.

ගත වූ කාලය මුළුල්ලේ ම පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම යනු දේශපාලන පොරොන්දුවක් බවට පමණක්ම පත්ව තිබුණු බව ඔබ අප සැමට මතක ය. වර්තමානයේ ද පාස්කු දින ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන ලෙස දේශපාලන වේදිකාවල කතාබහ ඇතිවුවත් එහි මහ මොළකරුවන් කවරේ ද යන්න, එහි ඇති දේශපාලනික වුවමනාව කවරේ ද යන්න දේශපාලනික සබුද්ධික භාවයකින් යුතු අයකුට අමුතුවෙන් වෙන් වෙන් වශයෙන් කිවයුතු නොවේ. කවර තත්ත්වයක් යටතේ වුව ද ජාතික ආරක්ෂාව අනතුරේ දමා තිබූ එකල රජයේ නොසැලකිල්ල මත එදා නිකරුණේ ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූයේ කිසිවක් නොදන්නා අහිංසක කිතුනු ජනතාවට ය. ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම වගකිව යුතු රාජ්‍යයක මූලික වගකීම වන්නේ ය. පාස්කු දින ප්‍රහාරය පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවටත්, එය අනියමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම සඳහා වූ කුමන්ත්‍රණයක පියවරක් වූ බවටත් චෝදනා එල්ල වී තිබිණි. දැන් ඇත්තේ ඉතිහාසයේ ඉටු නොවූ යුක්තිය වර්තමානයේ තරාදිය මත තබා කිරා බලා සාධාරණය ඉටු කිරීමයි. ඒ සඳහා යටගැසුණු පරීක්ෂණ යළි කඩිනමින් සමාජගත කළ යුතුව ඇත.

බලය අත්පත් කර ගැනීම සහ බලය පවත්වා ගැනීම සඳහා බුද්ධි අංශ වාර්තා නොසලකා හරිමින් අසංවේදීව කටයුතු කළ පාලක පන්තියක් සහ නිලධාරි පෙළැන්තියක් සිටි බවට මේ සිද්ධිය සාක්ෂියකි. ඔවුන් නීතියෙන් හෝ වෙනත් කවර තත්ත්වයකින් නිදහස් වුව ද ඔවුනගේ හෘදයසාක්ෂියෙන් නිදහස් විය හැකි ද යන ගැටලුව අප හමුවේ පවතියි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික ප්‍රජාව සෑම පාස්කු දින ප්‍රහාර සැමරුමකදීම ඉතා සංවේදීව හා සංයමයෙන් ප්‍රකාශ කළේ රතු කාපට් යට සඟවා ඇති බුද්ධි අංශ වාර්තා රටට හෙළිදරව් කර, වින්දිතයන්ට සාධාරණය ඉටු කරන ලෙසයි. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ජනතාව හමුවේ යළි යළිත් සපථ කළේ පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවයි. ඒ සඳහා වන පරීක්ෂණ විධිමත් ආකාරයෙන් සිදු වන බවත්, ඒ වෙනුවෙන් යම් කාලයක් අවශ්‍ය බවත්, දේශපාලනික වශයෙන් යටපත් කරනු ලැබූ සිදුවීම් පිළිබඳ යළි පරීක්‍ෂණ කළ යුතු බවත් එහිදී ප්‍රකාශ විය.

මේ අතරතුර පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම වෙනුවෙන් විදෙස් රටවලින් ලැබුණු ආධාර හා වන්දි මුදල් පිල්ලි ගැසුණු බවට ද එකල චෝදනාවක් එල්ල වී තිබිණි. එකල බලයේ සිටි අයගේ දේශපාලනික නරුමභාවය හඳුනා ගැනීමට මෙය තරම් උදාහරණයක් තවත් නැත. නිරායුධ මිනිසුන් ත්‍රස්ත ප්‍රහාරයකින් මරණයට පත්වීම, බලයට පැමිණීමට සාධකයක් බවට පත් කර ගත්තා පමණක් නොව, ඔවුහු වෙනුවෙන් ලැබුණු වන්දි මුදල් ගසාකෑමට තරම් ඔවුහු දේශපාලනික වශයෙන් නරුම වූහ. ඔවුන්ට දඬුවම් දිය යුත්තේ කවර ආකාරයෙන් ද යන්න ජනතා අධිකරණයක් හමුවේ ප්‍රශ්න කළ යුතුව ඇත.

පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය අයට සහ එහි වින්දිතයන්ට සාධාරණය ඉටු කළයුත්තේ කතා සාප්පු දැමීමෙන් හෝ පාර්ලිමේන්තුවේ විවාද පැවත්වීමෙන් නොවේ. මියගිය අයගේ පවුල්වලට වන්දි දීමෙන් ඒ ජීවිතවලට සාධාරණය ඉටු කළ හැකි ද යන්න ගැටලුවකි.

මේ ප්‍රහාරය හා සම්බන්ධ සියලු පාර්ශ්ව සමාජය හමුවේ හෙළිදරව්කොට, ඔවුන්ට නීති මඟින් දඬුවම් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. පාස්කු දින ප්‍රහාරය හා දේශපාලනික සම්බන්ධයක් පවතින බව මෙරට ලොකු, කුඩා සැම දන්නා කාරණයකි. එකී දූෂිත බලදේශපාලන පන්තිය, සමාජය හමුවේ හෙළිදරව් කළ යුතුව ම ඇත. බලදේශපාලනික වුවමනාව නිසා ආරක්ෂක ක්‍රියාවලිය පෞද්ගලික දේපළක් ලෙස සලකා කටයුතු කළ දේශපාලන පෙළැන්තිය හෙළිදරව් කළ යුතුව ඇත.

කවර හෝ තත්ත්වයක් යටතේ නිරායුධ මිනිසකු මිය යා නම්, එය ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයකි. ශිෂ්ටසම්පන්න ජන සමාජයක එය නොවිය යුත්තකි. ආගම ඇදහීමට ගිය අය ත්‍රස්ත ප්‍රහාරයකින් මරණයට පත්වීම අනුමත කළ නොහැකි තත්ත්වයකි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කෙටි කාලයක් තුළ යම් සාධනීය පියවර රැසක්ම ගනු ලැබූ අතර කාලාන්තරයක් පුරා යටගැසී තිබූ පරීක්ෂණ නිසි අයුරින් ඇරඹුණු බව ද සිහිපත් කළ යුතුය. එය ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හා ප්‍රජාවගේ ප්‍රසාදයට ලක්වූ බව ද පෙන්වා දිය යුතුමය.

දැන් ඇත්තේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් යළි යළිත් කතා පවත්වන හෝ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන කාලසීමාව නොවේ. පළමුකොටම වින්දිතයන්ට සාධාරණය ඉටු කළ යුතු ය. දෙවනුව ඊට වගකිවයුත්තන්ට නීති මඟින් කටයුතු කළ යුතුව ඇත. ඇඟ බේරා ගැනීම හෝ ෂේප් න්‍යාය මීට අදාළ නොවේ. මැතිවරණ වේදිකාවේ ඡන්ද තුරුම්පු බවට එය පත්කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් කළ යුතුව ඇත. එය පාස්කු දින ප්‍රහාරයේ ඊළඟ සාංවත්සරික සැමරුම දක්වා කල් දැමිය යුතු නොවේ. එසේ වුවහොත් පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය ජනතාවගේ හෘද‍යසාක්ෂියේ කම්පනයේ ශාපය ඔවුන් සියලු දෙනාටම එල්ල වීම වැළැක්විය නොහැකි වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT