Monday, April 21, 2025
Home » පාසල් අතර පවතින විශමතාවය අවසන් කිරීමේ වැඩපිළිවෙළ 2026 වසරෙන් ඇරඹෙයි

පාසල් අතර පවතින විශමතාවය අවසන් කිරීමේ වැඩපිළිවෙළ 2026 වසරෙන් ඇරඹෙයි

by chanaka
April 20, 2025 7:11 pm 0 comment

2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(20) වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් පවසන ලදී.

එමෙන්ම කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දීම ඉදිරියේදී සිදුවන බව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල් වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් එම ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා මෙවර අයවැයෙන් ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය විසින් ප්‍රකාශ කරන ලදී.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු විය යුතු බවත් ගුරු පුහුණු විද්‍යාලවල පහසුකම් දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය මෙහි දී අවධාරණය කරන ලදී. එමෙන්ම වසර ගණනාවක් පුරාවට වසා ඇති වව්නියා දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය ගුරු විද්‍යාලය කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට නැවත විවෘත කිරීම මෙවර අයවැයෙන් සිදුකරන බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා ය.

දරුවන්ට සමාජය තුළ ගොඩනැගෙන්නට අවශ්‍ය කුසලතා වර්ධනය කෙරෙන, පෞරුෂය ශක්තිමත් කරන නිදහස් අධ්‍යාපනය තහවුරු කරන ,නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථය හොඳින් ම සාක්ෂාත් වන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම ජාතික ජනබලවේග ආණ්ඩුවේ මූලික බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙහි දී ප්‍රකාශ කරන ලදී.

මෙම ජන හමුව සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, වව්නියා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. තිලකනාදන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජෙගදීශ්වරන් යන මහත්වරුන් සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ වව්නියාව නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග අපේක්ෂයන් ඇතුළුව ප්‍රදේශවාසීන් රැසක් සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT