සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) පැවැත්වේ. ඒ අනූව, දහවල් 12.00 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.
ඊයේ (18) දිනයේදී ලක්ෂයකට ආසන්න සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදාගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව ඇත.
දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල සැදැහැවතුන් පිරිසක් තවදුරටත් පෝලිම්වල රැඳීසිටින ආකාරය දැකගත හැකිය.
සිරි දළදා වන්දනාවට පැමිණීීමට ප්‍රවේශ මාර්ග තුනක් නම්කර තිබේ.
ඒ, ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් පෝලිම, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම, රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් පෝලිම ලෙසයි.
සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු අවස්ථාවක ප්‍රභූවරුන්ට විශේෂිත (VIP) පෝලිමක් නොමැති බව, මහනුවර සහ මාතලේ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි.
මේ අතර, දළදා වන්දනාව වෙනුවෙන් සැදැහැවතුන් පෙළගැසී සිටින එක් පෝළිමක් කිලෝමීටර් 08කට වඩා දීර්ඝ වී ඇති බව අද අලුයම වන විට වාර්තා වී තිබේ. එම පෝළිම මහනුවර රතු බෝක්කුව අසල සිට තලාතුඔය මාර්ගය ඔස්සේ කැටවල ප්‍රදේශයද ඉක්මවා ගොස් ඇතැයි පැවසේ.
පෝළිම්වල රැඳී සිටිමින් රැය පහන් කළ සැදැහැවතුන්ට එම ප්‍රදේශවාසීන් තේ පැන් ආදියෙන් සංග්‍රහ කර ඇතැම් සැදැහැවතුන්ට සිය නිවාසවල නවාතැන් පහසුකම්ද ලබා දී තිබූ බවද වාර්තා වේ.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව සහ රථ වාහන හැසිරවීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.
සිරි දළදා වන්දනාව සංවිධාන කර තිබෙන්නේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟ පෙන්වීමෙනි.
රථවාහන තදබදය අවම කිරීම සදහා උදේ 6.00 සිට සිරි දළදා වන්දනාව අවසන් වන තෙක් සැදැහැවතුන්ගේ පෞද්ගලික වාහනවලට මහනුවර නගරයට ඇතුළුවීමට අවස්ථාව නොලැබේ.
පොදු ප්‍රවාහන සේවා මගින් මාළිගාව දක්වා ඔවුන් ප්‍රවාහනයට නියමිතය. වාහන ගාල් කිරීම සදහා වෙනම ස්ථාන හදුන්වාදී තිබේ.