Monday, April 21, 2025
Home » පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට

පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට

by chanaka
April 19, 2025 8:40 am 0 comment

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (18) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ය.

මේ සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමැති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ පසුගිය අප්‍රේල් 08වැනිදාය. ඒ මඩකලපුව ප්‍රදේශයේ දී ය.

මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 1951 පෙබරවාරි 22 වැනිදාඋපත ලැබූ අයෙක් වන අතර 2006 දෙසැම්බර් 15 වන දින කොළඹ අධි ආරක්ෂිත කලාපයක පැවති සමුළුවකට සහභාගී වීමෙන් පසු අතුරුදහන් විය. ඔහු විසින් අවසන් වරට දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසු සමුළුවෙන් පිටව යන බව සිය සමීපතමයන්ට පවසා තිබුණි. එකල පළවූ වාර්තා අනුව ඔහුගේ පවුලේ අය කියා සිටියේ ඔහු ඝාතනය කර ඇති බවට ඔවුන් විශ්වාස කරන බවයි.

මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් යනු ශ්‍රී ලාංකික දෙමළ ශාස්ත්‍රඥයෙක් වූ අතර නැඟෙනහිර විශ්ව විද්‍යාලය ආරම්භයේ සිටම එහි සේවය කළ අයෙකි.

අතුරුදහන් වීමට පෙර, මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් කොළඹ අධි ආරක්ෂිත කලාපයක පිහිටි විද්‍යා මන්දිරයෙහි පැවති ශ්‍රී ලංකා විද්‍යා සංගමයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙමින් සිටියේය.

“දෙමළ මක්කල් විදුතාලියා පුලිකල් (TMVP) නම් පැරාමිලිටරි සංවිධානයට” අයත් තුවක්කුකරුවන් ඔහුව පැහැරගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වී ඇති බව එකල ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම පැහැර ගැනීම පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය කනස්සල්ල පළ කරමින් අභියාචනයක් නිකුත් කළේය.

“ඔහු හමුදාව විසින් දැඩි ලෙස පාලනය කරන ලද ප්‍රදේශයක සිටි බැවින්, ඔහුව අල්ලා ගත් අය ආරක්ෂක හමුදාවන්ගේ නිහඬ සහාය ඇතිව ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් බව පෙනේ. ඔහු වධහිංසා පැමිණවීමේ අවදානමට ලක්ව ඇත . ඔහු හෘද රෝගවලින් පෙළෙන අතර, ඔහුගේ ජීවිතය වඩාත් අනතුරේ හෙළයි” යනුවෙන් මේ පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හී රොබට් ජේ. ක්වින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එකල අභියාචනයක් නිකුත් කර තිබුණි.

මහාචාර්ය රවීන්ද්‍රනාත්ව නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක පවා නිරත විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) එකල සිදුකළ විමර්ශනයෙන් හෙළි වූයේ මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මුලින් තර්ජන එල්ල වූයේ TMVP යැයි සැක කරන සන්නද්ධ කණ්ඩායමකින් බවයි.

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව මැදිහත් වෙමින් ඔහුගේ නීතීඥයා තමන් බව පවසන නීතීඥ උදය ගම්මන්පිල සඳහන් කළේ පැය භාගයක පමණ කාලයක් තමන් සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කිරීමේ දී සිරමැදිරියක් තුළ ගෙවන වේදනාත්මක ජීවිතය පිළිබඳව පිල්ලෙයාන් විසින් කරුණු පැහැදිලි කළ බවයි. ඇතැම් අවස්ථාවල දී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් කඳුළු සලමින් හඬා වැටුණු බවද උදය ගම්මන්පිල මහතා වාර්තා කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT