ප්‍රසාද ලකුණු සටහන
කණ්ඩායම තරග ජය පරාජ නොවිසඳුණු ලකුණු
දඹුල්ල 3 2 1 0 37.978
ගාල්ල 3 1 0 2 37.378
මහනුවර 4 0 1 2 28.103
කොළඹ 3 1 1 1 22.625
යාපනය 3 0 1 2 9.680
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) සිවුදින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තීරණාත්මක තරග දෙක ඉරිදා (20) ආරම්භ වෙයි.
කණ්ඩායම් 5ක් එක්වන තරගාවලියේ මූලික වටය අවසානයේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ඒ අනුව මේ වන විට දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් මුල් ස්ථාන දෙක දිනා ගනිමින් අවසන් මහ තරගයට ළංවී සිටිති. සිවුවැනි තැන සිටින කොළඹ පිලට ද අවසන් තරගයට එක්වීමට සියුම් අවස්ථාවක් ඇති අතර, ඒ සඳහා ඔවුන්ට පෙරළිකාර ජයක් වාර්තා කිරීමට සිදු වනු ඇත.
තරග 3කදී ජයග්‍රහණ දෙකක් පමණක් ලබා පරාජයක් ද සමඟ ලකුණු 37.978ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත්ව ඇති අතර, ඔවුන් පස්වැනි ස්ථානයේ සිටින යාපනය පිල සමඟ පල්ලෙකැලේදී තරග බිමට පිවිසෙයි. මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන ගාල්ල පිල (37.378) ජයග්‍රහණයක් සහ ජය පරාජයෙන් තොර තරග දෙකක් සමඟ දෙවැනි තැන පසු වන අතර, ඔවුන් දඹුලු පිටියට පිවිසෙන්නේ සිවුවැනි තැන සිටින කොළඹ පිලට එරෙහිවය.
කෙසේ වෙතත් දඹුල්ලට අවසන් තරගයට එක්වීමට වැඩි අවස්ථාවක් ඇති අතර, මේ තරග දෙක ජය ගැනීමට දඹුල්ල සහ ගාල්ල සමත් වුවහොත් අපහසුවකින් තොරවම එම කණ්ඩායම් දෙක අවසන් සටනට එක්වනු ඇත. තෙවැනි තැන සිටින මහනුවරට මේ වන විටත් අවසන් තරග වරම් අහිමිවී ඇත්තේ ඔවුන් මූලික වටයේ තරග නිමා කර සිටින බැවිනි. යාපනයට ද එම අවස්ථාව අහිමිව ගොස් තිබේ.
තරග 8ක් නිමා වන විටත් ලකුණුලාභීන් අතර පෙරමුණ ගැනීමට යාපනය කණ්ඩායමේ රවිඳු රසාන්ත සමත්ව සිටියි. අවසන් සතියේ ඔහුගේ ඉනිම ලකුණු 20කට සීමා වුවද මේ වන විට ඔහු තරග 3කදි ලකුණු 433ක් රැස් කර ඇත්තේ ද්විත්ව ශතකයක්, ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟිනි. කමිල් මිෂාර (කැන්ඩි) ලකුණු 366ක් සමඟ දෙවැනි තැනට පත්ව ඇති අතර, දඹුලු නායක ධනංජය ද සිල්වා ලකුණු 361ක් සමඟ තෙවැනි තැන සිටියි.
දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජය ඉනිම 6කදී කඩුලු 32ක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් පසුවන අතර, ශිරාන් ප්‍රනාන්දු (මහනුවර) කඩුලු 15ක් සහ සහන් නානායක්කාර (මහනුවර) කඩුලු 13ක් සමඟ දෙවැනි සහ තෙවැනි ස්ථානවල සිටිති.
තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 27 වැනිදා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.
නිරෝෂාන් ප්‍රියංකර