ආසියාවේ ප්‍රධානතම කණ්ඩායම් අතර පැවැත්වෙන එමිරේට්ස් ශූරතාවලිය සඳහා දොරටු විවර කරගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායම ලබන 19 වැනිදා සංචාරක මැලේසියානු කණ්ඩායම සමඟ කොළඹ තුරඟ තරග පිටියේදී තීරණාත්මක තරගයට එක් වෙයි. මේ තරගයේ ජයග්‍රහණය ලබන ජූනි මාසයේදී හොංකොං, දකුණු කොරියාව සහ එමිරේට්ස් කණ්ඩායම් ඇතුළත් ආසියාවේ ප්‍රධානතම රටවල් අතර තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව පමණක් නොව වසර 2027 ලෝක කුසලාන රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබාගැනීම උරගා බලන අවස්ථාවක් ද වනු ඇත. කලෙකට පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශිෂ්ටතම තරගයක් නොමිලයේ දැක බලා ගැනීම සඳහා එදින තුරඟ තරග පිටිය ප්‍රේක්ෂකයන්ට විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ද වාර්තා වේ.
මැලේසියානු තරගය ඉලක්ක කරමින් සුදත් සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු රග්බි තේරීම් කමිටුව විසින් සංචිතගත කරනු ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු නායක නයිජල් රත්වත්ත නම් කර ඇති අතර, ජාත්‍යන්තර රග්බි පිටියේ අත්දැකීම් බහුල ප්‍රවීණ ක්‍රීඩකයකු වන නයිජල් ඇතුළුව ප්‍රබලතම ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත සංචිතය ඊයේ නම් කර තිබේ. ඊට අතිරේක ක්‍රීඩකයෝ දෙදෙනකු එක්වී සිටිති. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය ලද එම සංචිතයට ලීග් සහ ක්ලිෆර්ඩ් කුසලාන ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 8ක්, සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 7ක්, සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 5ක්, හැව්ලොක් ක්‍රීඩා සමාජයෙන් සහ පොලිස් ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් දෙදෙනකු බැගින් සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයෙන් එක් ක්‍රීඩකයකු ඇතුළත්ව සිටිති. මහනුවර පිලේ මලිත විජේසුන්දර සහ පොලිස් පිලේ හිරන්ත පෙරේරා අතිරේක ක්‍රීඩකයෝ වෙති.
ප්‍රවීණ පුහුණුකරු සනත් මාටිස්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස දුෂ්‍යන්ත් ලෙව්කේ සහ පසුපෙළ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස සාලිය කුමාර කටයුතු කරති. උදය හෙට්ටිආරච්චි මහතා කණ්ඩායම් ප්‍රධානියා ලෙසත්, රොහාන් චින්තක මහතා කණ්ඩායම් කළමනාකරු ලෙසත් කටයුතු කරන අතර, කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස වෛද්‍ය ප්‍රදීප් කිරිඇල්ල මහතා පත්වී සිටී. මීට අමතරව තවත් 5 දෙනකු පුහුණු කාර්ය මණ්ඩලයට එක්වී සිටිති.
ශ්‍රී ලංකා සංචිතය මෙසේය.
නයිජල් රත්වත්ත (නායක), තිළිණ බණ්ඩාර, තරිඳු චතුරංග, හේෂාන් ජැන්සෙන්, ධනුෂ්ක රන්ජන්, දිනාල් ඒකනායක, දහන් වික්‍රමආරච්චි සහ මලිත විජේසුන්දර (මහනුවර), සෙනුර පෙරේරා, නවීන් මාරසිංහ, ලසිඳු කරුණාතිලක, මුර්ෂීද් සුබේර්, තෙනුක නානායක්කාර, තනූජ ජයවීර සහ වෙනුර කෝදාගොඩ (සීආර්), පුලස්ති දිසානායක, ජනිඳු ඩිල්ෂාන්, විමුක්ති ගමගේ, නිරෝෂ් පෙරේරා සහ පසිඳු බණ්ඩාර (සීඑච්), ජනිඳු ප්‍රනාන්දු සහ මොහොමඩ් රිෆාන් (හැව්ලොක්), ආකාශ් මධුසංඛ සහ හිරන්ත පෙරේරා (පොලිස්) සහ නිස්රාන් නිලාර් (ශ්‍රී ලයන්ස්)
ෆවුස් මොහොමඩ්