Home » වනඅලින්ගෙන් අපේ ජීවිත බේරා දෙන්නේ කවදා ද?

වනඅලින්ගෙන් අපේ ජීවිත බේරා දෙන්නේ කවදා ද?

by sachintha
April 18, 2025 1:29 am 0 comment

වැල්ලවාය වනජීවි කලාපයට අයත් තෙලුල්ල 38 කණුව සිට 39 කණුව දක්වා අතර ප්‍රදේශයට දිනපතා එල්ලවන වනඅලි තර්ජන වැඩිවෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

එසේ පැමිණි වනඅලි ඉකුත්දා එකම දිනයක දී පලතුරු හා එළවළු අලෙවි කරනු ලබන ව්‍යපාරික ස්ථාන හතරක් කඩා දමා ඇතැයි ප්‍රදේශවසීහු පවසති.

38 කණුව, කම්මල අසල, කොට්ටගස්හංදිය, 39 කණුව යන ස්ථාන ආශ්‍රිතව පිහිටි වෙළෙඳසල්වලට මෙසේ වනඅලි හානි සිදුකර ඇති අතර එක් වෙළෙඳසලකට දින දෙකකදී හානි සිදුකර තිබේ.

නිරන්තරයෙන්ම මෙම වනඅලි ගම්වදින්නේ වන්දම හා දෙමළීය ප්‍රදේශවලින් පැමිණ කිරිඳි ඔයෙන් එගොඩ වී වැල්ලවාය තණමල්විල පාර මාරුවී බවත්, එසේ පැමිණෙන වනඅලි ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි වෙළෙඳසල්වලට හා නිවෙස්වලට හානි සිදුකරන බවත් ඉන් අනතුරුව ගම්වදින බවත් වගාබිම්වල ඇති වගාවන් සියල්ල කා විනාශ කර යළි නයිගල් ආර හරහා කුඩාඔය බලහරඅව දෙබරආර ප්‍රදේශවලට පලා යන බවත් ඔවුහු පවසති.

ප්‍රදේශයේ වනඅලි ගැටලුව සම්බන්ධයෙන් නිරන්තරයෙන් මැදිහත්වන සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රසන්ත ජයලත් මහතා අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.

“අලි ඇත්තු ගොඩක් ඉන්නවා. ඔය එන ගමන් මිනිස්සු මරලා දැම්මොත් මිනිස්සු නිකං ඉන්න එකක් නෑ. මේ ගැටලුව විසඳන්න ඉක්මන් වැඩපිළිවෙළක් හදන්න. අඩුම තරමේ මේ හානි කරන අලියාවත් ගෙනියලා දාන්න ඕනේ. මොනවද මේකට කරන්න පුළුවන් කියලා ඇහුවම ඒ නිලධාරින් කියන්නේ කරන්න දෙයක් නෑලු ඉන්නේ පස් දෙනයිලු.

එහෙම කිව්වම හරියනවද, අලි වෙඩි ගන්න කිලෝ මිටර් 10ක් -15ක් එන්න ඕනේ. අඩුම තරමේ ඒකට හරි ක්‍රමවේදයක් හදන්න ඕනේ. එක්කෝ ඒ අය ඇවිත් ජංගම මුර සේවයක් හරි දාලා අලි එළවන්න ඕනේ. ඒ අය කියන්නේ ඒ අයට පුළුවන් විදිහට තමයි කරන්නේ කියලා. වත්තක පිටියක කිසිම ඵලදාවක් නෑ. පොල්ගස් ටික පෙරළුවා. කුඹුරක්, බතක් කරගන්න විදිහක් නෑ.

බැරිම තැන කතරගම වනජීවි ප්‍රධාන කාර්යාලටත් කතා කළා. එහෙන් කියනවා මාසයක් විතර යයිලු අලියා ගෙනියන වැඩේ කරන්න. පසුගිය සතියට මේ ප්‍රදේශයේ වැල්ලවාය, තණමල්විල මාර්ගය ආසන්නයේ තිබූ වෙළෙඳසල්, නිවාස හයක් පමණ කඩා බිඳ දමා හානි සිදුකර තිබුණා. සමහර ගෙවල්වල තිබුණ වී කවර ටික ඇදගෙන කාලා තිබුණා. වී කවරයක් ගෙට ගන්න මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. එහෙම කරගෙනත් ගේ තියෙන දේ රැකගන්න විදිහක් මේ ප්‍රදේශයේ ජනතාවට අදවෙනකොට නැතිවෙලා.

දැන් හොරෙන් හොරෙන් නෙවෙයි එන්නේ ප්‍රොන පාර දිගේ. අපිට පාරට බහින්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. අඩුම තරමේ දරුවකුට පාසලකටවත් යන්න බැරිවෙයි මේ යන විදිහට.

අලි ඉන්න ගාන ගණන් කරන්න බෑ. ඒ තරමට ඉන්නවා. පොඩි ප්‍රමාණයක් නෙවෙයි ගම්වලට එන්නේ හතර පස්දෙනා බැගින් රංචු. සමහර වෙලාවට තනි තනියෙනුත් එනවා. මේ දවස්වල කඩවර වැවේ අලි 20 – 25 ක විතර ප්‍රමාණයක් ඉන්නවා.

පහුගිය දවස්වල ප්‍රාදේශීය ලේකම් කාර්යලයේ මේ වනඅලි ගැටලුව සම්බන්ධයෙන් රැස්වීමක් තිබුණා. මේ ගම්මානයෙන් නියෝජනය කළේ මම. ඒ වෙලාවේ මම අලි වැට ගහන එක ගැන කතා කළාම ඒකට ප්ලෑන් එකක් ඇඳලා තියෙනවා ‍ කොළඹ කන්තෝරුවල කියලා කිව්වා. කොළඹ ඉඳගෙන මේවායේ වැටවල්වල ප්ලෑන් ඇඳලා වැඩක් නෑ.

වැට ගහන්න ඕනේ මේකෙ කැළේ කොලේ දන්න කෙනෙක් සම්බන්ධකර ගෙන කියලා මම පෙන්නලා දුන්නා. ඒ වෙලාවේ ඒක ඇත්ත කියලා එතන හිටපු අනෙක් නිලධාරීන් පවා පිළිගත්තා.

මේ වෙනකොටත් ලක්ෂ ගාණක් වැය කරලා කම්බි කණු ගහලා විදුලි වැටක් හදලා තියෙනවා ශත පහකට වැඩක් නෑ. වැට හොඳයි නමුත් ජනතාවට වැඩක් නෑ. වන සංරක්ෂණය කැළේට අලි එන එක නතර කරන්න තමයි ඒ වැට ගහලා තියෙන්නේ අලි වැට ගහනවා කිව්වට අද වෙනකම් කළේ නෑ.”

මේ සම්බන්ධයෙන් අප වැල්ලවාය වනජීවි කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු මෙසේ පවසා සිටියේ ය.

“ඔය කියන ස්ථාන ආශ්‍රිතව අවුරුදු ගණනාවක් පැරණි අලිමංකඩක් තියෙනවා. කුකල්කඩුව වැව පැත්තෙන් ඇවිල්ලා කිරිඳිඔයෙන් එගොඩ වෙලා 298 – 299 කණු අතරින් අලිමංකඩක් තියෙනවා. අලි ඒ මංකඩ දන්නවා. අලි ඒ හරහා තමයි කොහෙන් ආවත් යන්නේ. නයිගල්ආර වැවට ගිහින් එතනින් කුඩාඔය පැත්තට යන්නේ. උන් යන්නේ එතනින්. ඒ මංකඩ ගැන අලි දැනගත්තට මිනිස්සු දන්නේ නෑ නේ. මිනිස්සු ඒවායේ පදිංචි වෙලා ගෙවල් දොරවල් හදලා ඒ මංකඩ හරහා. ඉතිං මේ කොටස නිදහස් කරන්න වනජීවි එකෙන් කිව්වත් රජයෙන් කිව්වත් වැඩක් නෑ. ඒ ප්‍රදේශයේ ජනතාව පදිංචි නිසා. අපිත් පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ගැටලුව විසඳන්න.”

වැල්ලවාය විශේෂ

ජී.අයි.ආර්. ගරුසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT