උපකරණ නෑ වැසිකිළි කැසිකිළි නෑ
බලධාරීන්ට කිව්වට වගේ වගක් නෑ
දිනපතා විශාල රෝගීන් පිරිසක් ප්‍රතිකාර ලබන බටපොළ රෝහලේ දිවා රාත්‍රී සේවය සඳහා වෛද්‍ය නිලධාරීන් හතර දෙනකු සිටිය යුතු වුවත් මේවන විට සේවයේ නියුක්ත වන්නේ වෛද්‍ය නිලධාරීන් දෙදෙනකු පමණක් බවත්, රෝහලේ බාහිර රෝගී අංශයෙන් පමණක් දිනකට තුන්සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන නමුත් පහසුකම් අඩුම මට්ටමක පවතින බවත් රෝහල් ආරංචිමාර්ග පවසති.
බටපොළ, නින්දාන, මීටීයාගොඩ, බටදූව, තනිපොල්ගහ, යක්කටුව, මානම්පිට, දොරළ, ඇත්කඳුර හා වතුරවිල වැනි මෙම රෝහල අවට ජනතාවට හදිසියකදී ප්‍රතිකාර ලබා ගැනීමට ඇත්තේ මෙම රෝහල පමණක් බවත්, පිරිමි, ගැහැනු, ළමා වාට්ටු හා හදිසි ප්‍රතිකාර ඒකකයකින්ද මෙම රෝහල සමන්විත වෙයි.
මෙම රෝහලේ වෛද්‍ය රසායනාගාරයක් ඇතත් අංග සම්පූර්ණ වශයෙන් අදාළ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය උපකරණ මෙම රෝහලට මෙතෙක් ලැබී නැති බවත් දැනට සිදු කළ හැක්කේ ලේවල සීනී පරීක්ෂාව සහ කොලෙස්ටරෝල් පරීක්ෂාව පමණක් බවත් එහි සේවකයෝ පවසති.
රෝහලේ වැසිකිළි පද්ධතිය ද බොහෝ සෙයින් අබලන් වී ඇති අතර කොමඩ් සහිත වැසිකිළි ක්‍රියාත්මක නොවීම නිසා නේවාසික වැඩිහිටි රෝගීන්ට වඩාත් දුෂ්කරතා පැන නැඟී ඇතැයිද රෝහල් සංවර්ධන කමිටු නියෝජිතයකු පැවැසීය.
එමෙන්ම ප්‍රධාන පාරේ සිට රෝහල ට පිවිසෙන මීටර් පන්සියයක් පමණ වන මාර්ගය තාර ගැලවී වළවල් සෑදී අබලන් වී ඇත. එම පාරේ යතුරුපැදියකින්වත් ගමන් කළ නොහැකි තත්ත්වයක් පවතින අතර මේ නිසා හදිසියකදී රෝගීන් රැගෙන එන වාහනවලට දැඩි අපහසුතාවලට ලක්වීමට සිදුව තිබෙන බවත්, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය එකතු වන වළ අබලන් වීම නිසා එම අපද්‍රව්‍ය වතුර ද උතුරා යාමෙන් රෝහල් පරිසරය අපවිත්‍ර වීමද සිදු වන බව එහි ගිය අපට දැක ගත හැකි විය.
බටපොළ රෝහල් සංවර්ධන කමිටු නියෝජිතයකු පැවසුවේ රෝහලේ පවතින මෙම අඩුපාඩු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඇතත් ප්‍රතිඵලයක් වී නොමැති බවයි.
ගාල්ල දිස්ත්‍රික් සංචාරක – ධර්මදාස සිරිවර්ධන