Home » නවීන තාක්ෂණයෙන් කසිප්පු පෙරූ කතක් ඇතුළු 3ක් අත්අඩංගුවට

නවීන තාක්ෂණයෙන් කසිප්පු පෙරූ කතක් ඇතුළු 3ක් අත්අඩංගුවට

-නළ මාර්ගයෙන් කරාම 7කින් පෙරූ මත්පැන් නිවෙසටම ගෙනත්

by sachintha
April 18, 2025 1:08 am 0 comment

නවීන තාක්ෂණ ක්‍රම උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ලබා ගැනීමට දින 7ට වෙන වෙනම කරාමවලට වෙන් කරමින් මහා පරිමාණයෙන් සිදු කළ කසිප්පු ජාවාරමක් යක්කලමුල්ල පොලීසිය මඟින් වටලන ලදුව සැකකරුවන් දෙදෙනකු සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ යක්කලමුල්ල, පොල්පාගොඩ ප්‍රදේශයේ පදිංචි තිදෙනකු වන අතර, කසිප්පු පෙරීම සිදු කර තිබුණේ ද එම ප්‍රදේශයේමය. ජාවාරම සඳහා අදාළ නිවෙස බද්දට ගෙන කසිප්පු පෙරීම කරගෙන ගොස් ඇති අතර, නිවෙස පිටුපස ඇති කන්දේ සිට මෙම ජාවාරම සිදු කර ඇත. කන්දෙහි කසිප්පු පෙරීම සිදු කරමින් කසිප්පු පෙරන ස්ථානයේ සිට නිවෙසට නළ මාර්ගයෙන් කසිප්පු ගලා එන ක්‍රමයට සකස් කර ඇති අතර, සතියේ දින 7ට කරාම 7ක් සකස් කරමින් ජාවාරම සැලසුම්සහගත ලෙස කරගෙන ගොස් ඇත. ජාවාරම්කරුවන් කරාමවලින් නියමිත දිනට පෙරන ලද කසිප්පු ලබා ගැනීමට ද සැලසුම් කර තිබිණි. කසිප්පු පෙරීම සඳහා බොයිලේරු 2ක් උපයෝගී කරගෙන ඇති මෙම ජාවාරම්කරුවන් මේ සඳහා අවශ්‍ය විදුලිය අනවසරයෙන් ලබාගෙන ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. නිවෙසට ගත් විදුලි වයරයෙන් විදුලි මීටරයට පිටතින් විදුලිය ලබා ගැනීම සිදු කර ඇති බවද පොලීසිය අනාවරණය කරගෙන තිබිණි.

සැකකරුවන් තිදෙනා සමඟ ගෝඩා මිලිලීටර් 307,500ක්, කසිප්පු මිලිලීටර් 150,000ක්, ගෑස් සිලින්ඩර් 2ක්, බොයිලේරු 2ක්, ගැලුම්, බට, හෝස් බට ඇතුළු තවත් උපකරණ රාශියක් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් පෙරේදා (16) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අක්මීමන විශේෂ සුනිල් ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT