සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකිකයන්ට නැණ නුවණ පහළ වන වසරක් වේවා යැයි එජාපයේ ප්‍රාර්ථනය බව එජාප සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල, උළුවිටිකේ එජාප දිස්ත්‍රික් කාර්යාලයේදී අලුත් අවුරුද්දෙන් පසු පෙරේදා (15) වැඩ ආරම්භ කළ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේද කීය. තව නොබෝ දිනකින් පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. එජාපය ඊට මුහුණ දෙන්න ඉතා ශක්තිමත්ව පෙළ ගැසෙමින් සිටිනවා. පළාත් පාලන මැතිවරණයෙන් සෑමවිටම දෙන්නේ ඉතාම වැදගත් පණිවුඩයක්. අපි හිතනවා මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිත කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිත නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වෙයි කියලා.
ඒ වගේම පාලක පක්ෂයට ලබානොදෙන සෑම ඡන්දයක්ම එජාපයට ලබා දෙන්නැයි මා ඉල්ලනවා. ඊට හේතු ගණනාවක් තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් පැන නඟින හැම අවස්ථාවකදීම ඉදිරියට පැමිණ රටේ පාලන බලය ගෙන ඒ ආර්ථික අර්බුද කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන ගියේ එජාපයයි. මම හිතනවා ඒ දේවල් ශ්‍රී ලාංකික ජනතාව අමතක නොකරාවි කියලා. බොහෝ දෙනෙක් එළියට ඇවිත් විවිධ කතා කියන්න පුළුවන්. නමුත් හැම කෙනෙක්ම මෙහි සත්‍ය අසත්‍යතාව හොඳින් දන්නවා. ආණ්ඩු පක්ෂය පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු කරන දේ ගැන විවිධ කතා කියනවා. ඔවුන් ඒ කියන විදිහට රටක් ඉදිරියට ගෙනියන්න බෑ. අපි 2015 ආණ්ඩු බලය අරගෙන 2018 වසරේ පළාත් පාලන මැතිවරණයට ගියාම එජාපය ඉන් පරදිනවා. එතකොට මම පළාත් පාලන ආයතන විෂය භාර ඇමැතිවරයා ලෙස කටයුතු කළා. පළාත් පාලන ආයතනය කුමන පක්ෂයට අයිති වුණත් රජයේ යුතුකම තමයි එය පෝෂණය කිරීම සහ ජනතාව ආරක්ෂා කිරීම.
ශිරෝමි අබයසිංහ