විවිධ සන්ධාන හා ආණ්ඩු යටතේ තමන් කටයුතු කළ ද මෙවර තමන්ගේම වූ දේශපාලන ව්‍යාපාරය වන එක්සත් ජනරජ පෙරමුණ පැන්සල් ලකුණින් පළාත් පාලන මැතිවරණයට තරග කරන බව එම පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
පළාත් පාලන මැතිවරණයට පැන්සල ලකුණෙන් තරග කරන මඩකලපුව දිස්ත්‍රික් අපේක්ෂකයන් දැනුම්වත් කිරීමේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී රණවක මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
“අපි දැක්කා ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහත්තයාගේ හිටපු ඇමැතිතුමාගේ ලේකම්වරයෙක් වෙච්ච අසාත් මවුලානා රූපවාහිනී සේවයක් වන චැනල් ෆෝ එකේ වැඩසටහනක් කළා පහුගිය අවුරුද්දේ. ඒකෙදි ඔහු කීවා මේ පිටිපස්සේ මේ ඇමැතිවරයා සහ අපේ බුද්ධි අංශ නිලධාරීන් ඉන්නවා කියලා. ඉතින් ඔහුගේ සාක්ෂි පිළිබඳ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්න පැන නැඟලා තියෙනවා. වාර්තාවෙලා තිබුණා ඔහු ලංකාවට ඇවිල්ලා සාක්ෂියක් දෙනවා කියලා. අපේ යෝජනාව නම් මේ සම්බන්ධයෙන් කවුරු හෝ පිල්ලෙයාන් මහතා හෝ වෙන ඕනෑ කෙනෙක් මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. කුමන්ත්‍රණය කර තියෙනවා නම් තරාතිරම නොබලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ. දැන් මැතිවරණ දෙකක් ලංකාවේ 2019 ජනාධිපතිවරණයෙත් මේ 2024 ජනාධිපතිවරණයෙත් මේ පාස්කු දින ප්‍රහාරය මත තීරණය වෙන තත්ත්වයක් ඇති වුණා. යළිත් මේ රටේ දේශපාලනයට ඒක මැදිහත් නොවන ආකාරය මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳිය යුතුයි.
බටලන්ද වගේ වධකාගාර මේ රාජ්‍යයේ අතුරු හමුදාව විසින් දකුණෙත් පවත්වාගෙන ගිහින් තියෙනවා. උතුරෙත් පවත්වාගෙන ගිහින් තියෙනවා. හැමතැනම පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ නොවන, අර ජේ. වී. පී. එක, එල්. ටී. ටී. ඊ. එක වගේ අයත් මේ වධකාගාර පවත්වාගෙන ගිහින් තියෙනවා”. “දැන් බටලන්දට විතරක් දඬුවම් දෙන්න ගියොත් ඒ අයට මොකද කරන්නේ? ඒ අය ගැන කියන්නේ කොහොමද?”
අපි කරනවා නම්, සත්‍ය සෙවීමේ කොමිසමක් දකුණු අප්‍රිකාවේ වගේ මුළු රටටම පත්කළ යුතුයි. උතුරු හා නැඟෙනහිරටවත්, දකුණටවත් වෙන් කරන්නේ නැතුව ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ ඝාතනයෙන් පටන් අරගෙන 2009 මැයි 08 දක්වා කාලය තුළ සිදු වූ සියලුම ඝාතන, අතුරුදන් කිරීම්, මරාදැමීම් සඳහා විවෘත කොමිෂන් සභාවක් පත් කළ යුතුයි.
නුවන් කොඩිකාර