ආයුධ නිෂ්පාදනය නතර කිරීමේ පොදු ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹීම වෙනුවෙන් විශ්ව සාම සම්මේලනය ලෙස ලෝක නායකයන්ට බලපෑම් කළයුතු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
මිනිසුන් මරා දමන ආයුධ නොමැති ලෝකයක් දැකීම සිය සිහිනය බවත් මිනිසුන් මරා දැමීමට වැය කරන සෑම ඩොලරයක්ම, මිනිසුන් ජීවත් කරවීමට ආයෝජනය කරනු දැකීමද සිය සිහිනයක් බවත් හෙතෙම පැවසීය.
කොරියාවේ සියොල් අගනුවරදී පැවැති විශ්ව සාම සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගි වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.
තොරතුරු තාක්ෂණය වෛරය වැපිරීම සහ ගැටුම් උත්සන්න කිරීම වෙනුවට සාමය සහ සංහිඳියාව පතුරුවා හැරීමට යොදා ගනු දැකීම තමන්ගේ තවත් සිහිනයක් බවත් ගැටුම් නතරවීමේ ප්‍රතිඵලයක් ලෙස කුසගින්න නැති ලෝකයක මිනිසුන් තම ශක්තිය වගා කටයුතු සඳහා වැය කරනු දැකීමට සිහින දකින බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අප්‍රේල් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා දකුණු කොරියාවේ සියොල් අගනුවර පැවති විශ්ව සාම සම්මේලනයේ 2025 ගෝලීය සමුළුවට ප්‍රධාන ආරාධිතයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. විශ්ව සාම සම්මේලනයේ ජාත්‍යන්තර සාම සමුළු කවුන්සිලයේ ආසියා පැසිපික් කලාපීය සභාපතීත්වය දරන මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෝලීය සමුළු සමාරම්භක සැසියේදී විශේෂ දේශනයක් කළේය. එහිදී ගෝලීය දේශපාලනික ස්ථාවරත්වය හා සාමය පවත්වාගැනීම, දේශගුණික විපර්යාස කළමනාකරණය හා ගැටුම් කළමනාකරණය සඳහා ආගම හා දේශපාලනය යන අංශ ඒකාබද්ධ කළ ද්වි-මණ්ඩල ගෝලීය සංවිධානයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය. රටවල් 40ක පමණ හිටපු රාජ්‍ය නායක නායිකාවන්, වත්මන් කථානායකවරුන්, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු වෙනත් රාජ්‍ය තාන්ත්‍රිකයන්, විද්වතුන් හා වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් 2025 ගෝලීය සමුළුව පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
2025 ලෝක සමුළුවට සහභාගි වී විශේෂ දේශනයක් පැවැත්වීමට ලැබීම ගෞරවයක්. පළමුවෙන්ම, 2025 ලෝක සමුළුවට මම සුබ පතමි. මේ සමුළුව ලෝක ඉතිහාසයේ ඓතිහාසික මොහොතක් වනු ඇතැයි සලකන අතර මෙය විශ්ව සාම සම්මේලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි.
ආසියානු පැසිෆික් කලාපයේ සාමය සඳහා වූ ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිවරයා ලෙස, මට සිහිනයක් තිබේ! සියලු මනුෂ්‍ය වර්ගයා සහෝදරත්වයෙන් වැලඳ ගනු දැකීම අරගල කිරීම හේතුවෙන් 1968 දී ඝාතනය කරන ලද ශ්‍රේෂ්ඨ අමෙරිකානු ජාතිකයකු වන මාටින් ලූතර් කිං විසින් කරන ලද ‘මට සිහිනයක් තිබේ’ සුප්‍රසිද්ධ ප්‍රසිද්ධ කතාව මම මෙහිදී සිහිපත් කරමි.
මා දකින සිහිනය, වසර 35ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් අමාත්‍යවරයකු සහ අවසානයේ ජනාධිපති ලෙස සේවය කිරීමෙන් මා ලබා ඇති දේශීය හා ජාත්‍යන්තර නිරාවරණය සහ අත්දැකීම් මත ගොඩනැඟුණු සිහිනයකි. මගේ දේශපාලන ජීවිතය වසර 55කට වඩා වැඩියි. නිසැකවම එය 2025 ලෝක සමුළුව නියෝජනය කරන බොහෝ තරුණ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වඩා මහළුයි.
මම නැවත අවධාරණය කරමි. මට සිහිනයක් තිබේ! වෛරය, කෝපය සහ ඊර්ෂ්‍යාව වෙනුවට, එකිනෙකාට සහ සොබාදහමට අසීමිත ලෙස ආදරය කරමින්, සහෝදරත්වයෙන් සිටින මිනිසුන් දැකීමට මම සිහින දකිමි. මානව වර්ගයා විනාශ කිරීමට මහා විනාශකාරී අවි නිෂ්පාදනය කිරීම සඳහා වන ආයෝජන, ගෝලීය වශයෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම සඳහා වැය කරන මුදලට වඩා, ආහාර නිෂ්පාදනය සඳහා වැය කරන මුදලට වඩා, ඖෂධ නිෂ්පාදනය සඳහා වැය කරන මුදලට වඩා, අධ්‍යාපනයට වැය කරන මුදලට වඩා, පර්යේෂණ හා සංවර්ධනය සඳහා වැය කරන මුදලට වඩා, පරිසරය ආරක්ෂා කිරීම සහ මානව වර්ගයාගේ පැවැත්මට වැය කරන මුදලට වඩා බෙහෙවින් වැඩිය.