Home » ස්වාධීන-අපක්ෂපාති විමර්ශනයකට රජය ධනාත්මක පියවර අරන්
පාස්කු ඉරිදා ප්‍රහාරය:

ස්වාධීන-අපක්ෂපාති විමර්ශනයකට රජය ධනාත්මක පියවර අරන්

-ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පාස්කු පණිවුඩයෙන් කියයි

by sachintha
April 18, 2025 1:00 am 0 comment

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාති විමර්ශනයක් සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් යම් ධනාත්මක පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ පාස්කු පණිවුඩය නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළ අපරාධකරුවන් කවුරුන් ද යන්න සහ ම්ලේච්ඡ ක්‍රියාවට අනුබල දුන්නවුන් කවුරුන් ද යන්න තහවුරු කරගැනීම මෙම විමර්ශනවල අවසාන ඉලක්කය විය යුතුව ඇතැයි ද අවධාරණය කරමින් නිකුත් කළ පණිවුඩය මෙසේය.

පාස්කුව කිතුනු ඇදහිල්ලේ හදවත වන අතර කිතුනු දින දර්ශනයේ වඩාත්ම උත්සවාකාරයෙන් සමරනු ලබන වාර්ෂික මංගල්‍යයයි. පාස්කු මංගල්‍යයේදි අපි උත්ථාන වූ සමිඳාණන් ද, අපගේ ගැලවුම්කරුවානන් ද වන නාසරතයේ ජේසුස් වහන්සේ, පාපය සහ මරණය පරදා ලද විජයග්‍රහණය ප්‍රකාශ කරමින් සමරන්නෙමු.

ජේසුස් වහන්සේ උත්ථාන වූ සේක. (ලූක් 24:5) යන සුරදූත හඬ අප දෙසවනේ දෝංකාර දීමට අපි ඉඩ හරිමු. අප ජේසුස් වහන්සේට ඇති සමීපතාව ගැඹුරු කරගැනීමට සහ සෑම කලකදීම විශේෂයෙන්ම අප ජීවිතයේ පරීක්ෂාවන් සහ අභියෝග අත්විඳින අවස්ථාවලදි, උත්ථාන වූ ස්වාමීන් වහන්සේ අප මධ්‍යයේ වැඩ සිටින බවට වන හැඟීම තුළ අලුත් වීමට ප්‍රීතිමත් පාස්කු සමය අපට ඇරයුම් කරයි.

මේ 2025 වන වසරේ අප ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ ජුබිලි වසර සමරද්දි ක්‍රිස්තුස් වහන්සේගේ බලාපොරොත්තුව අපව ඉච්ඡාභංගත්වයට පත් නොකරන බලාපොරොත්තුව වැලඳ ගැනීමට සහ ඒ තුළ අලුත් වීමට අපගේ විශ්ව එඬේරාණන් වන ෆැන්සිස් සුද්ධෝත්තම පියතුමාණෝ අපෙන් ඉල්ලා සිටිති.

මෙම බලාපොරොත්තුව වෙත ඇදී යෑමට සහ එය සොයා යන සෑම දෙනා අතර අපගේ සාක්ෂි දැරීම මඟින් ඒ පතුරුවා හැරීමටත්, ෆැන්සිස් සුද්ධෝත්තම පියතුමාණෝ අපට ඇරයුම් කරති.

උත්ථාන වූ සමිඳාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට දර්ශනය වී සාමයේ තිළිණය ඔවුන්ට දානය කළ සේක. එම සාමයේ තිළිණයම අපගේ දයාබර මාතෘ භූමිය වෙත ද සමස්ත ලෝකය වෙතද අපි අයැද සිටිමු.

රන්මලී සෝමසිරි, නෙරංජලා වික්‍රමසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT