Home » VIP-VVIP පෝලිම් නෑ

VIP-VVIP පෝලිම් නෑ

-මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක් ආරක්ෂාවට පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 10,000ක්

by sachintha
April 18, 2025 1:02 am 0 comment

 

සිරි දළදා වන්දනාවට මහනුවර පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා මහනුවර නගර සීමාවේ සහ ඉන් පිටත රථගාල් 25ක් ස්ථාපිත කර තිබේ.

මහනුවර නගරාසන්නයේ රථගාල් 12ක් සහ ඉන් පිටත 13ක් ලෙස මෙම රථගාල් ස්ථාපිත කර තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පැවසීය.

මහනුවරදි ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදි ඒ මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

දළදා වන්දනාව සඳහා විවිධ ප්‍රදේශවල සිට බැතිමතුන් පැමිණෙන වාහන නගරයට ඇතුළු කරනොගන්නා බවත් එම වාහන කටුගස්තොට, තැන්නකුඹුර,පේරාදෙණිය, පොල්ගොල්ල, මහයියාව, පල්ලේකැලේ හා ගුරුදෙණිය ඇතුළු ස්ථාන කිහිපයකින් නතරකර බැතිමතුන් බස් රථවලින් නගරය කරා රැගෙන ඒමට සැලසුම් කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය. මෙවර VIP-VVIP පෝලිම් නැති බවද ඒ මහතා පැවසීය.

දෛනික අවශ්‍යතා සඳහා මහනුවරට පැමිණෙන ජනතාවගේ වාහන නගරයේ නවතා තැබීමට අවසර නොදෙන බැවින් ඔවුන්ට වේවැල්පිටිය ක්‍රීඩාංගණය, සහස් උයන රථගාල, ගැටඹේ මහානාම ක්‍රීඩාංගණය, මහයියාව සුසාන භූමිය ඉදිරිපිට මාර්ගය, මහනුවර නාගරික රථගාල, බෝගම්බර ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන 12ක් වෙන්කර තිබෙන බව ද මාසිංහගේ මහතා කීවේය.

නගරයට ඇතුළු වන සියලු මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදීමට පියවර ගෙන තිබෙන බවත් දළදා මාලිගාවේ සහ බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ 10,000ක් සේවයේ යොදවා තිබෙන බවත් ඒ මහතා කීය.

දළදා මාලිගා පරිශ්‍රයේ පමණක් සිවිල් නිලධාරින් ද සමඟ පොලිස් නිලධාරින් 1060ක් සේවයේ යොදවා ඇතැයි ද හෙතෙම පැවසුවේය.

විශේෂ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් පැමිණෙන්නාක් මෙන් නමගිය ගැටකපන්නන් ද මෙවැනි අවස්ථාවක නගරයට පැමිණෙන බව අත්දැකීමෙන් දන්නා බවත් ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් විමසිලිමත්ව තොරතුරු රැස්කර තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

බස් රථවලින් කප්පම් ගන්නා පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් යාචකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් අධිකරණ නියෝග මත පුනරුත්ථාපන මධ්‍යස්ථාන කරා යොමු කළ බවත් ඒ මහතා පැවසුවේය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT