Home » වෛද්‍යවරුන්ට බැණ සේවකයන්ට පහරදී බණ්ඩාරගම රෝහලේ මිනියක් බලෙන් අරන් ගිහින්

වෛද්‍යවරුන්ට බැණ සේවකයන්ට පහරදී බණ්ඩාරගම රෝහලේ මිනියක් බලෙන් අරන් ගිහින්

by sachintha
April 18, 2025 12:02 am 0 comment

 

යතුරුපැදි අනතුරක් හේතුවෙන් මියගිය පුද්ගලයකුගේ ඥාතීන් පිරිසක් රෝහලට පැමිණ වෛද්‍යවරුන්ට පරුෂ වචනයෙන් බැණ වැදී, රෝහල් සේවකයන්ට ද පහරදී දේහය ලොරි රථයක පටවාගෙන රැගෙන යෑමේ පුවතක් බණ්ඩාරගම දිසා රෝහලින් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ ඥාති දියණියක ඇතුළු සිවු දෙනකු සිද්ධිය සිදුව පැය කිහිපයක් තුළ අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය සමත්ව ඇත.

බණ්ඩාරගම – අලුත්ගම ගම්මාන පාරේ ඩබ්ලිව්. ඒ. සුසන්ත වික්‍රමසිංහ (51) නමැති සිවු දරු පියා පෙරේදා (16) රාත්‍රියේදි බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට පැමිණෙමින් සිටියදි ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක් සමඟ මුහුණට මුහුණ ගැටී තිබේ.

එහිදී පැදිකරුවන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයා බරපතළ තුවාල ලබා සිටියදී බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් තිබී ඇතැයි පොලීසිය කියයි.

මඳ වේලාවක් ගත වෙද්දී එම පුද්ගලයාගේ ඥාතීන් සහ හිතවතුන් පහළොස් දෙනකුට අධික පිරිසක් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ මඟින් රෝහල් භූමිය කරා පැමිණ එක වරම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට කඩා වැදී වෛද්‍යවරුන්ට පරුෂ වචන කියමින් තර්ජනය කර ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම පිරිස හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳන් පෙරළා දමා එහි ට්‍රොලිය මත දමා තිබූ මළසිරුර බලහත්කාරයෙන් ට්‍රොලියක් සමඟම තල්ලු කරගෙන බණ්ඩාරගම – හොරණ මාර්ගය කරා රැගෙන ගොස් ලොරියක පටවාගෙන පලා ගොස් තිබූ බව පොලීසිය කියයි.

එම කලහකාරි පිරිස රෝහල ඇතුළට යන අවස්ථාවේ ඉදිරිපස දොර වීදුරුවලට ආරක්ෂක හිස්වැසුම්වලින් පහර දීමෙන් දැඩි භානි සිදුවී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

අදාළ සිද්ධිය සැලවීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ මූලික විමර්ශනකර සැකකරුවන් කිහිප දෙනකු හඳුනා ගැනීමට සමත්ව තිබිණි.

මළසිරුර සහිත ට්‍රොලිය තල්ලු කරගෙන යන බහුතරයක් දෙනා කාන්තාවන් බවට හඳුනා ගත් බව ද පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේ පැමිණි පිරිසෙන් බහුතරයක් දෙනා බීමතින් සිටි බවට ද අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයන් මළසිරුර පාණදුර මූලික රෝහලට රැගෙන ගොස් එහිදී ද ආවේගශීලීව හැසිරී ඇති අතර එම රෝහල් පරිශ්‍රයට ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ද කැඳවීමට පාණදුර දකුණ පොලීසිය මඟින් පියවර ගෙන තිබිණි.

අනතුරුව එම රෝහල කරා ගිය බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මළ සිරුර බලහත්කාරයෙන් රැගෙන යෑමට මූලික වූ මියගිය පුද්ගලයාගේ පුත්‍රයා සහ ඥාති දියණිය ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පැමිණි කලහකාරි පිරිසගේ පහර දීමෙන් රෝහල් උපස්ථායිකාවගේ අතක් ආබාධයකට ලක්ව ඇති අතර ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා පාණදුර මූලික රෝහලට යොමු කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මෙම සිද්ධියත් සමඟම ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා පොලිස් ස්ථානවලින් අතිරේක පොලිස් බළඇණි සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් ද කැඳවීමට පෙරේදා (16) රාත්‍රී පියවර ගෙන තිබිණි.

රෝහලේ සවිකර තිබෙන සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදුකර මෙම සිද්ධියට සම්බන්ධ සෑම තරාතිරමකම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ චමිල් රත්නායක, සහකාර පොලිස් අධිකාරි සම්පත් පෙරේරා මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් ජයලාල් මහතා ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු සිදු කරති.

බණ්ඩාරගම සමූහ – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT