සිරි දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව පිණිස පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ පොලිස් නිල වෙබ් පිටුව මඟින් සේවා රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවත් මහනුවරට පැමිණීමට පෙර එය පරිශීලනය කර අවබෝධයක් ලබා ගැනීමෙන් බැතිමතුන්ට අපහසුතා රැසක් මඟහරවා ගතහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.
වෙබ් පිටුවට ඇතුළු වීමෙන් පසු සිරි දළදා වන්දනාව ලෙස නම්කර තිබෙන අයිකනය ඔස්සේ දළදා වන්දනාව හා සම්බන්ධ සියලු තොරතුරු ලබා ගැනීමට හැකි බව ද ඒ මහතා කීය.
මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේය. මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ, මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, පොලිස් අධිකාරි ඩී.පී.ඩී. ඉලංගකෝන් මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
දළදා වන්දනාව සඳහා මහනුවර පැමිණෙන ජනතාවට ලබාදී තිබෙන උපදෙස් හා සේවා මොනවා ද යන්න මෙන්ම අදාළ දිනයේ රථ වාහන ගාල් කිරීම සඳහා රථගාල්වල පවතින ඉඩකඩ සම්බන්ධ තොරතුරු ද මෙමඟින් ලබාගත හැකි බව හෙතෙම අවධාරණය කළේය. මේ හා සම්බන්ධ තොරතුරු සහ දත්ත ඇතුළු කිරීමට තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරින් සියලු රථගාල් ඉදිරිපිට රඳවා තිබෙන බව ද ඒ මහතා කීය. දළදා වන්දනාව සඳහා ස්ථාපිතකර තිබෙන පෝලිම් තුනේ විස්තර සම්බන්ධවත් ඒවාහි අවසන් ස්ථානය කොතනද යන්න සම්බන්ධයෙනුත් විස්තර වෙබ් පිටුව පරිශීලනය කිරීමෙන් ලබාගත හැකි බව ඒ මහතා පැවසුවේය.
දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණීමට පෙර ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසය මඟින් පොලිස් නිල වෙබ් පිටුවට ඇතුළුකර තිබෙන යාවත්කාලීන තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
අසේල කුරුළුවංශ