Sunday, April 20, 2025
Home » අඩි 40ක් උස ලිස්සන ගහේ කොඩිය ගැසීමට ගිය 16 වියැති සිසුවා වැටී මියයයි

අඩි 40ක් උස ලිස්සන ගහේ කොඩිය ගැසීමට ගිය 16 වියැති සිසුවා වැටී මියයයි

by sachintha
April 18, 2025 1:52 am 0 comment

 

පිටිගල අමුගොඩ ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක පැවැත්වීමට නියමිතව තිබූ අලුත් අවුරුදු උත්සවයක ලිස්සන ගහේ ඉහළට නැඟ කොඩිය ගැසීමට යෑමේදී ඉන් ඇදවැටුණු 16 හැවිරිදි සිසුවකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

පෙරේදා (16) රාත්‍රී කාලයේදී සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අමුගොඩ දෙණියවත්තේ පදිංචිව සිටි චේතින නිවන්දන නැමැති සිසුවායි.

ඔහු අමුගොඩ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි. මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයකු බව පොලීසිය සඳහන් කරයි. අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ ඊයේ (17) දිනයේදීය.

මෙම අවුරුදු උත්සවයේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස මෙම සිසුවා ද ක්‍රියාකාරීව සම්බන්ධව සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.

අඩි 40ක් පමණ උසැති මෙම ලිස්සන ගහ ඉහළට එසවීමෙන් අනතුරුව එහි මුදුනේ කොඩිය ගැසීමට සිසුවා නැඟ ඇති බවත් ඔහු ඇද වැටී ඇත්තේ මුදුනට ගොස් කොඩිය ගැසීමට සූදානම් වූ අවස්ථාවේදී බවත් පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුර වන විට ගසේ ග්‍රීස් තවරා තිබී නැත. සිසුවා ගසට නැඟ ඇත්තේ ද කොටසකට ඉණිමඟක් තැබීමෙන් පසු ඉණිමඟේ එම කොටසට ගමන් කිරීමෙන් අනතුරුවය. ගසේ ග්‍රීස් තැවරීම සිදු කිරීමට නියමිතව තිබී ඇත්තේ කොඩිය එහි මුදුනේ සවි කිරීමෙන් අනතුරුව බව ද පොලීසිය සඳහන් කරයි.

සිසුවාගේ මරණය සම්බන්ධයෙන්වූ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ ඇල්පිටිය රෝහලේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදුකර ඇත. සුසුම්නාව බිඳී යෑමෙන් මෙම මරණය සිදුව ඇති බව එහිදී නිගමනය වී තිබෙන බව ද පොලීසිය සඳහන් කරයි.

ගයාන් කුමාර වීරසිංහ, ඇල්පිටිය සමූහ චන්ද්‍රසිරි ගුණසේකර, ඇල්පිටිය විශේෂ ඩී.ජේ. විජේසිංහ, ගාල්ල දිස්ත්‍රික් සංචාරක ධර්මදාස සිරිවර්ධන සහ දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT