Home » විහිළුව දුරදිග ගිහින් පොරෝ පහර කෑ නවනැලියේ තරුණයෙක් මරුට

විහිළුව දුරදිග ගිහින් පොරෝ පහර කෑ නවනැලියේ තරුණයෙක් මරුට

by sachintha
April 18, 2025 1:51 am 0 comment

අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැලඳ ජැන්ඩි පහට හැඳ පැලඳ පොල් කැඩීමේ නිරත වූ පුද්ගලයකුට දිගින් දිගටම ඒ පිළිබඳ සමච්චලයට ලක්කිරීම නිසා කුපිතවීමෙන් ඔහු අත රැඳි තියුණු ආයුධයකින් පහරදී විසිහය හැවිරිදි තරුණයකු මරා දමා ඇතැයි ගලහ පොලීසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දෙල්තොට, නවනැළිය, කොටගෙපිටිය ප්‍රදේශයේ පදිංචි නදීර වසන්ත රණසිංහ නමැත්තාය.

සැකකරු කුඩා කල නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි සිය අත්තම්මා හා සීයා ළඟ හැදී වැඩී ඇති අතර, අට ශ්‍රේණිය දක්වා ඉගෙන ගැනීමෙන් පසු සිය පාසල් ගමන අතහැර වී ඇඹරුම්හලක සේවය කර තිබේ.

පසුව වයස අවුරුදු 18 සම්පූර්ණවීමෙන් පසු ඔහු යුද හමුදා සේවයට එක් වුවද වසර දෙකක් පමණක් එහි සිට ඉන් පලා ගොස් කොළඹ ප්‍රදේශයේ කුරුඳු සමාගමක සේවය කර තිබේ.

එහිදී හඳුනාගත් කාන්තාවක හා විවාහ වී ඇගේ ගම වන මෙම නවනැලිය ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

ගමට පැමිණියත් රැකියාවක් නොමැති මොහු මෙම ගමේදී පොල් ගස් නැඟ ගෙඩි කැඩීමේ රැකියාවක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මොහු විසින් අත්පොරොවක ආකාරයට සකසා ගත් විශේෂ ආයුධයක් ද භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොල් කැඩීම රස්සාව වුවත් මොහු නවීන විලාසිතා යොදමින් කලිසම්, කමිස හැඳ අව් කණ්ණාඩි හා හිස් වැසුම් පැලඳ ගමන් බිමන් යාම හා එම විලාසිතාව සමඟ පොල් කැඩීම ද සිදු කිරීම නිසා ගමේ සිටි බොහෝ දෙනාගේ උසුළුවිසුළුවලට ලක්වීමට මොහුට නිතර සිදුව තිබූ බවට කරුණු අනාවරණය වන බව පොලීසිය කියයි.

මේ නිසාම මොහු බොහෝ අය සමඟ නිතර නිතර ගැටුම් ඇති කරගෙන තිබුණත් මෙම විහිළු තහළු නතර වීම වෙනුවට ඒවා වැඩි වී ඇති බව ද පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

එළැඹි අවුරුදු උදාව සමඟ මෙම ගමේ නි‍ෙවසක සියලු දෙනා වෙනුවෙන් සංග්‍රහයක් සූදානම් කර තිබේ. නමුත් පොල් කඩන මොහුට ඒ සඳහා ආරාධනා කර නොමැත. මොහු එය අමතක කර නි‍ෙවසට පහළ ඔයේ දිය නෑමට ගොස් තිබේ.

එහිදී මියගිය නදීර යන අය ඇළ ඉවුර දිගේ සාදය තිබෙන නි‍ෙවසට ගමන් කරන අතරතුර සැකකරු දැක සුපුරුදු පරිදි විහිළු කර තිබේ. මෙයින් කුපිත වූ මොහු දිය නෑම අතහැර ඇළෙන් ගොඩටවිත් ඇළ ඉවුරේ ගමන් කරන නදීර නමැත්තාව අල්ලාගෙන ඔහු සතුව තිබූ තියුණු ආයුධයෙන් බෙල්ලට පහර දී තිබේ. ඉන්පසු දෙදෙනාම පොරබැදීම සමඟ ඇළ ඉවුරින් පහළට පෙරළී ඇති බව වාර්තා වෙයි. පසුව, අසල පිරිස එම ස්ථානයට රැස්වෙද්දී සැකකරු මරණකරු අතහැර පලාගොස් ඇති බවත් ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරු දෙල්තොට, පල්ලේගම රෝහලට රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වූ බව පොලීසිය කියයි.

මහනුවර වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා මෙහි ස්ථානීය පරීක්ෂණය පැවැත්විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය පීඨයේ මහාචාර්ය අධිකරණ වෛද්‍ය එස්. කොඩිකාර මහතා මෙහි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය.

මියගිය අයගේ සිරුරේ මරණීය කැපුම් තුවාල හයක් තිබී හඳුනාගෙන තිබේ. මෙය අධික රුධිර වහනය හා එම කැපුම් තුවාල හේතුවෙන් සිදුවූ මරණයක් බව නිගමනය කොට තිබුණි.

ගලහ පොලීසිය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ගම්පොළ ස්ථානීය පරීක්ෂණාගාරය (සොකෝ) නිලධාරීන් මෙහි පරීක්ෂණ පැවැත්විය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා, ගලහ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති සුගත් විජේසිංහ, පොලිස් සැරයන්වරුන් වන (66709) ප්‍රියන්ත, (64275) මාරසිංහ, පොලිස් කොස්තාපල් (71956) ජයසිංහ යන නිලධාරීහු මෙහි පරීක්ෂණ පැවැත්වූහ.

ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT