බ්‍රිතාන්‍යෙය් සිට ඊයේ (17) පෙරවරුවේ මෙරටට පැමිණි යුවළක් සිරි දළදා වන්දනාවට එක්වීමට යෑම සඳහා කොටුව දුම්රිය ස්ථානයට පැමිණ මහනුවර බලා ධාවනය වන දුම්රියට ගොඩවෙද්දී ඔවුන්ගේ ගමන් බෑගය සොරාගත් අයෙක් දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් ලුහුබැඳ ගොස් පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේය.
සිද්ධිය සැකැවින් මෙසේය.
දළදා වහන්සේ වන්දනාමාන කිරීමට මහනුවරට යාම සඳහා බ්‍රිතාන්‍ය ජාතිකයකු සිය බිරිය හා දරු දෙදෙනා සමඟින් මෙරටට ඊයේ අලුයම පැමිණ තිබේ. දහවල් කොටුව දුම්රිය ස්ථානයට පැමිණ 12.40ට මහනුවර බලා ධාවනය වන දුම්රියට ගොඩවී තිබේ.
දුම්රියට ගොඩවන විට ඔවුන්ගේ ගමන්බෑගය අතුරුදන්ව තිබී ඇත. ඒ බව වහාම කොටුව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ට ඔවුන් පවසා තිබේ. මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා සිය ගමන් බෑගයේ ජී.පී.එස්. උපකරණයක් සවිකර තිබී ඇත. ජංගම දුරකතනය හා එම ජී.පී.එස්. උපකරණය සම්බන්ධකර තිබීම හේතුවෙන් බෑගය පිටකොටුව බස් නැවතුමේ තිබෙන බවට හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ.
බ්‍රිතාන්‍ය ජාතිකයාගේ බිරිඳ හා දරු දෙදෙනා කොටුව මෙහෙයුම් ඒකකයේ නතර කොට වහාම ක්‍රියාත්මක වූ දුම්රිය ආරක්ෂක නිලධාරීන් කොටුව පොලීසියේ නිලධාරීයකුගේද සහාය ඇතිව බ්‍රිතාන්‍ය ජාතිකයා ද සමඟින් ත්‍රිරෝද රථයක නැගී බෑගය ඇති ස්ථානය ලුහුබැඳ තිබේ.
පිටකොටුව බස් නැවතුමට ගොස් සෝදිසි කරද්දි අදාළ බෑගය රැගත් පුද්ගලයා බසයක නැගී ආමර්වීදිය දෙසට ගමන් කරන බව ජී.පී.එස්. උපකරණය මඟින් පෙන්වා තිබේ.
ආමර්වීදියෙන් වෙනත් බසයක නැගී ගමන් කරන බව පසුව පෙන්වා ඇත.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඒ ඔස්සේ පන්නා යමින් සැකකරු අල්ලාගෙන ඇත්තේ පෑලියගොඩ අතුරු පාරක මුඩුක්කු නිවාස පේළියක නිෙවසකට ඔහු ගොඩවෙද්දීය.
බලපත්‍ර, මුදල් හා වටිනා ලියකියවිලි රැසක් තිබෙන බැවින් එම බෑගයට ජී.පී.එස්. උපකරණයක් මෙරටට පැමිණෙන විටදීම සවිකළ බව මොහු පවසා ඇත.
සැකකරු රැගෙනවිත් කොටුව පොලීසියට භාර දුන් බව කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී සුසිල් ප්‍රේමලාල් මහතා පැවසුවේය.
අනතුරුව සවස කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා ගමන් ගන්නා දුම්රියක නන්වා ආදාළ විදෙස් යුවළ යැවීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇත.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත, කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරි සුසිල්ප්‍රේමලාල්, කොටුව කාර්යභාර නිලධාරි ජේ. කුමාරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සැරයන්වරුන්වන ගමගේ, ධර්මසිරි, ආනන්ද සිරි, ආරක්ෂක නිලධාරින් වන සුරාජ්, රණසිංහ, ඒකනායක, දයාතුංග හා දුම්රිය කාර්ය සහායක වරුන් වන මුණසිංහ, හේරත්, වික්‍රමපාල, සමරකොන් නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
නිමල් රාජපක්ෂ