Home » ලෝක ආර්ථිකයේ ඉහළ අවිනිශ්චිත බවක් නිර්මාණය වෙලා -IMF

ලෝක ආර්ථිකයේ ඉහළ අවිනිශ්චිත බවක් නිර්මාණය වෙලා -IMF

by chanaka
April 18, 2025 9:03 am 0 comment

ඇමරිකාවේ තීරුබදු ඉහළ නැංවීම හේතුවෙන් ඉහළ අවිනිශ්චිත බවක් ලෝක ආර්ථිකයේ නිර්මාණය වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි.

එමෙන්ම ඉහළ යන වෙළඳ සීමාවන් ආර්ථික වර්ධනයට ක්ෂණික බලපෑමක් ඇති කරන බව ද ඇය සඳහන් කළාය. ඒ ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වසන්ත සෘතු සමුළුවට පෙර සිදු කළ දේශනකදී ය.

මෙම ආරක්ෂණවාදය දීර්ඝකාලීන ඵලදායිතාවයට හානි කරනු ඇති අතර විශේෂයෙන්ම කුඩා ආර්ථිකයන්ට මෙමගින් ප්‍රබල පීඩනයක් එල්ල වනු ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එලඹෙන සතියේ නිකුත් කීරීමට නියමිත ලෝක ආර්ථික දැක්ම පිළිබඳ වාර්තාවේ මෙම තීරුබදු පැනවීමේ පිරිවැය සංඛ්‍යාත්මකව ඉදිරිපත් ‍කෙරේ. යළි යහපත් ප්‍රවණතාවක් වෙත යොමු වීම සඳහා අධිෂ්ඨානශීලී මූල්‍ය ක්‍රියාමාර්ග ගනිමින්, නිසි මූල්‍ය ක්‍රමවේදයට ගරු කරමින් කටයුතු කරන ලෙස ද ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සියලු රටවලින් ඉල්ලා සිටී.

බහුධ්‍රැවීය ලෝකයක සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ ඇය, විශාලතම ආර්ථික බලවතුන් අතර වෙළඳ ප්‍රතිපත්තියේ විවෘතභාවය ආරක්ෂා කරන සහ වඩාත් සමාන වෙළඳ තරගකාරීත්වයක් සහිත තත්ත්වයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළා ය. එය තීරුබදු අනුපාත අඩු කිරීම සඳහාත්, තීරුබදු නොවන සීමාවන් මෙන්ම විකෘති කිරීම් අවම කිරීම සඳහාත් හේතු වනු ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT