පෘථිවියෙන් ආලෝක වර්ෂ 124ක් දුරින් පිහිටි ජීවීන් සිටිය හැකි බවට විශ්වාස කරන ග්‍රහලෝකයක් සොයා ගැනීමට එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෘථිවිය මෙන් තුන්ගුණයක් තරම් විශාල එම ග්‍රහලෝකයේ ජීවීන් සිටිය හැකි බවට අනුමාන කළ හැකි ආකාරයේ ජීව වායු පිරී ඇතැයි ද මූලික පර්යේෂණයේදී තහවුරු වූ බව එම විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය නිකූ මධුසුදාන් ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දැනට K2-18b ලෙස නම් කර ඇති එම ග්‍රහලෝකය මත පෘථිවියේ මෙන් ජීවීන් පමණක් නිපදවනු ලබන රසායනික ද්‍රව්‍ය පවතින බවට අනුමාන කරන බවත්, එම ග්‍රහලෝකයේ ජීවීන් විශේෂයක් පවතින බවට තහවුරු කිරීමට තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු බවත් ඉන්දීය සම්භවයක් සහිත මේ මහාචාර්යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නාසා ආයතනය සතු අතිසංවේදී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් හඳුනා ගෙන ඇති නව ග්‍රහලෝකය සම්බන්ධව අඛණ්ඩව පර්යේෂණ සිදු කරන බවත්, ඉතා ඉක්මනින්ම තීරණාත්මක සාක්ෂි ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් මහාචාර්ය මධුසුදාන් ප්‍රකාශ කර තිබේ.
‘අපි නව ජීවයක් සොයා ගත් බව කියන්නේ නෑ. නමුත් අපි දුටු දෙය බොහෝ දුරට ජීව විද්‍යාත්මකයි. සමහර විට මේ ග්‍රහලෝකයේ ජීවය පිරුණු උණුසුම් සාගරයක් තිබෙන්නටත් පුළුවනි.‘ නව ග්‍රහලෝකය සම්බන්ධව පසුගියදා මාධ්‍ය හමුවක් පැවත්වූ මහාචාර්යවරයා විශ්වාසයෙන් යුතුව එසේ සඳහන් කර තිබේ.