පාකිස්තානයේ අධිකරණ පද්ධතියේ බිඳ වැටීමෙන් විදේශීය ආයෝජකයන්ට දැඩි බලපෑම් එල්ල වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රකාශ කර ඇතැයි පාකිස්තානයේ ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය. පසුගියදා පාකිස්තානයේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම එරට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, පාකිස්තානයේ අධිකරණ පද්ධතියේ අකාර්යක්ෂමතාව සම්බන්ධව එම නියෝජිතයන් දැඩි අවධානය යොමු කර ඇතැයි ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සංගමයේ සභාපති මොහොමඩ් රවුෆ් අටා එහිදී අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය හා කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා 26 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට කරුණු පැහැදිලි කර ඇතැයි ද ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළේය.
එම සාකච්ඡාවෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අධිකරණ පද්ධතිය ඇතුළුව දූෂණ විරෝධී උපාය මාර්ග සම්බන්ධව සමාලෝචනය කිරීම සඳහා පාකිස්තාන කැබිනට් අනු කමිටුවේ සාමාජිකයන් මුණ ගැසුණු බවද වාර්තා වේ. අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක ණය මුදලක් සඳහා පාකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාසයේදී කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි අතර, එරට ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා බලපෑම් එල්ල වන ක්ෂේත්‍රයන් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ.