Monday, April 21, 2025
Home » ආසියාවේ නැඟීම සහ අමෙරිකාවේ වෙළෙඳ යුද්ධය

ආසියාවේ නැඟීම සහ අමෙරිකාවේ වෙළෙඳ යුද්ධය

by sachintha
April 18, 2025 2:00 am 0 comment

අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් රටවල් සියයකට ආසන්න ප්‍රමාණයකින් ආනයනය කරනු ලබන භාණ්ඩ කෙරෙහි අසාමාන්‍ය තීරු බදු ප්‍රමාණයක් පැනවීමෙන් පසුව එම බදු පැනවීමේ කාල සීමාව පසුපසට ගැනීමත් චීනය සමඟ ඔහු ඇති කරගෙන තිබෙන වෙළෙඳ තරගය තුළ එය සමස්ත ලෝක ආර්ථිකය වෙත බලපාන ආකාරයත් පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය සතිවලදී මෙරට ඇතුළු තවත් රටවල් ගණනාවකින් ආනයනය කරනු ලබන භාණ්ඩ කෙරෙහි පනවන ලද තීරු බදු පිළිබඳව ලෝකයේ ආර්ථික සහ දේශපාලන විශ්ලේෂකයන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. පසුගිය දිනවල සිංහල දෙමළ අලුත් අවුරුදු උණුසුමත් සමඟ තරමක් යටපත්ව තිබුණද එහි බලපෑමේ පරිමාණය කිසිදු අඩුවක් වූයේ නැත. ට්‍රම්ප්ගේ මෙම බද්දට විරුද්ධව මෙන්ම පක්ෂවද විශාල කතිකාවතක් ලෝකය තුළ ඇතිව තිබේ. මෙම තීරු බදු පැනවීම පිළිබඳව අදහස් දක්වන ඇතැම් පාර්ශ්ව සඳහන් කරන්නේ මෙය අමෙරිකා එක්සත් ජනපදය සහ සෙසු ලෝකය අතර වෙළෙඳ යුද්ධයක් බවය. එහෙත් මෙම තීරු බදු ප්‍රතිපත්තියේ අප නොදකින පැත්තක්ද තිබේ. එමෙන්ම ලෝකය කතා නොකරන පැතිකඩක් ද ඇත.

ට්‍රම්ප් විසින් පනවන ලද මෙම තීරු බදු නිසා වෙනත් රටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩවලට විශාල තීරු බදු ප්‍රමාණයක් පනවා තිබෙන අතර මෙහිදී අප රටට සියයට හතළිස් හතරක තීරු බද්දක් ද කාම්බෝජයට සියයට හතළිස් නවයක තීරු බද්දක්ද පනවා තිබේ. තවද, යුරෝපා සංගමයට සියයට විස්සක්ද පනවා තිබේ. එම බදු පැනවීම නිසා එම රටවල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන අතර අමෙරිකානු පාරිභෝගිකයන් වෙත ද භාණ්ඩ මිල ඉහළ යාමේ අනතුරක් මතුව තිබේ. ඒ තත්ත්වය තුළ අමෙරිකාවේ ප්‍රාන්ත පනහක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වීථි බැස මෙම තීරු බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කළේ තමන් වෙත ලැබෙන භාණ්ඩ මිල ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය නිසා විශාල ලෙස ඉහළ යාමක් සිදු විය හැකි බවට වූ අදහස නිසාය.

ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ ශ්‍රේෂ්ඨ අමෙරිකාවක් යන්නය. දැන් ක්‍රියාත්මක වන්නේ අමෙරිකා ෆස්ට් යන ප්‍රතිපත්තියයි. එහි ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ අමෙරිකාව තුළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ශක්තිමත් වීමය. නව ප්‍රතිපත්තියේ අනෙක් අරමුණ බවට පත්ව තිබෙන්නේ අමෙරිකානු ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමය. නැතහොත් අමෙරිකාව තුළ නිෂ්පාදන ආර්ථිකය වඩාත් ශක්තිමත් කිරීමය. ලෝක දේශපාලන සහ ආර්ථික සන්දර්භය තුළ මෙම බදු ප්‍රතිපත්තිය විශාල බලපෑමක් සිදු කරනු ලබයි.

දේශීය ආර්ථිකය

ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් මෙම නව තීරු බදු ප්‍රතිපත්තිය ඉදිරිපත් කළද එය ක්‍රියාත්මක කිරීම දින අනූවකට කල් දමා තිබේ. එසේ කල් දැමීමට හේතුව ලෙස සඳහන් කළ හැක්කේ අන් කිසිවක් නොව එම රටවල් සහ අමෙරිකාව අතර සාකච්ඡා ප්‍රවේශයක් ඇති කර ගැනීමය. එසේ සාකච්ඡා ප්‍රවේශයක් ගොඩනඟා ගැනීම මඟින් දෙපාර්ශ්වය අතර යම් එකඟතාවක් ඇති කර ගැනීමය.

දේශීය ආර්ථිකය ශක්තිමත් කරනු ලබන ජාතිකවාදී ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ හොඳ උදාහරණයක් අප රට තුළින් 1970 දශකයේදී ඉදිරිපත් කරනු ලැබූ ආර්ථික ක්‍රමය තුළින් පෙන්වා දීමට පුළුවන. එසේම පසුගිය කාලයේදී අප රටේ ආර්ථිකය විශාල බිඳ වැටීමකට ලක් වූ අතර මධ්‍ය පරිමාණ ආර්ථික මූලාශ්‍ර පවා විශාල අවහිර වීමකට ලක්විය. එක්සත් ජනපදයේ තීරු බදු ප්‍රතිපත්තිය නිසා මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම් සමනය කළ හැකි විකල්ප වෙළෙඳපොළ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කළද ඒ අතර අපට විකල්ප වෙළඳපොළ අවස්ථා පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. ඒ අතර නැඟී එන වෙළෙඳපොළ ලෙස චීනය, ලතින් අමෙරිකානු රටවල්, යුරෝපය ඇතුළු වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර ඒ නව වෙළෙඳපොළ අවස්ථා පිළිබඳව සොයා බැලිය යුතුය. එහිදී අපට එම රටවලින් පොහොර, තෙල් වැනි දේ ලබා ගැනීම තුළින් මෙම තත්ත්වය කළමනාකරණය කළ හැකිය. අද ට්‍රම්ප් පැනවූ තීරු බදු පිළිබඳව නැඟෙන චෝදනාවක් බවට පත්ව තිබෙන්නේ ඔහු මෙම තීරු බදු පිළිබඳ තීරණය හිතුමතේ ගනු ලැබූ එකක් බවය. දැනටමත් අමෙරිකා එක්සත් ජනපදය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තිහකට ආසන්න ප්‍රමාණයක් ණය වශයෙන් ලබාගෙන තිබේ. එමෙන්ම එරට අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන ගණනකි. මේ තත්ත්වය අමෙරිකා ආර්ථිකයට බලවත් තර්ජනයක් එල්ල කර තිබේ.

අද වන විට ඩොලරය ලෝකය තුළ අවපස ගමනක් ආරම්භ කර තිබේ. ඩොලරය අන්තර් ජාතික මූල්‍ය ඒකකයක් ලෙස යම් කඩා වැටීමකට ලක්ව ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මුහුණ දෙන ප්‍රබලම ගැටලුවක් බවට මේ තත්ත්වය බලපා තිබේ. මීට කලකට පෙරද අමෙරිකාව මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන ලදී.

ඒ කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ඔහුගේ දේශපාලන ගමන් මඟට මාරාන්තික බලපෑමක් එල්ල කිරීමට ද විශාල ඉඩක් තිබේ. ලෝක ජනමාධ්‍ය ට්‍රම්ප් ජනාධිපතිවරයා තනි තීරණ ගන්නා පුද්ගලයකු ලෙස හඳුන්වනු ලැබුවද ට්‍රම්ප්ගේ පැත්තෙන් ගත් කල ඔහු මෙම තීරණ ගනු ලැබුවේ අමෙරිකාව ජාතික ආර්ථිකයක් ලෙස ශක්තිමත් කිරීමය. ඔහුගේ පාර්ශ්වයෙන් ගත් කල එහි වරදක් නැත. ජාතික වශයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ කාර්ය ඔහු විසින් ගනු ලැබූ ආනයන භාණ්ඩ වෙත තීරු බදු පැනවීමේ තීරණයට හේතුවයි.

ගෝලීය ජාතිකවාදය

ඇතැමුන් පෙන්වා දෙන්නේ, මීට පෙර බලයේ සිටි බයිඩන්, ඔබාමා වැනි ජනාධිපතිවරු ගෝලීයවාදීන් වන බවය. එහෙත් බයිඩන් ජනාධිපතිවරයාද ගෝලීය විරෝධියකු නොවේ. ඔහු ගෝලීය ජාතිකවාදියකු ලෙස සඳහන් කළ හැකිය.

අද වෙළෙඳ යුද්ධයක් ලෙස මතුව තිබෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ මෙම නව තීරණ සහ එය ලෝකයට බලපාන ආකාරය පිළිබඳව වූ කරුණයි. බදු විරාමයක් ලෙස හඳුන්වනු ලබන දින අනූවක විරාම කාලය තුළ රටවල් සමඟ ඇති කර ගනු ලබන එකඟතා අතර ව්‍යාපාරික එකඟතා පමණක් නොව යම් යම් දේශපාලනික එකඟතාද ඇති කර ගැනීමට අමෙරිකා එක්සත් ජනපදය යම් ප්‍රයත්නයක නියැළිය හැකිය.

මෙම නව තීරු බදුවල මූලික අරමුණ ලෙස සඳහන් කළ හැක්කේ නැඟී එන චීනය ප්‍රමුඛ ආසියානු ආර්ථිකයට යම් ආකාරයකින් වැට කඩුලු බැඳීමක් ලෙස සඳහන් කළ හැකිය. පසුගිය ඉතිහාසය දෙස බලද්දි කලක් අමෙරිකාව සහ සෝවියට් දේශය අතර වෙළෙඳ යුද්ධයක් මෙන්ම සීතල යුද්ධයක්ද පැවැතුණි. දැන් එළඹ තිබෙන්නේ චීනය සමඟ වෙළෙඳ යුද්ධයක් වෙත එළඹීමේ කාර්යය වෙත එක්සත් ජනපදය යොමු වීමය. බොහෝ අවස්ථාවල වෙළෙඳ යුද්ධය අවසානයේ උණුසුම් යුද්ධද ඇතිව තිබේ.

මෙම බදු ප්‍රතිපත්තිය තුළ අමෙරිකාවේ අපේක්ෂාව බවට පත්ව තිබෙන්නේ තම රටේ ඩොලර් තම රට තුළම රඳවා ගැනීම වන අතර දැනට ඇති තත්ත්වය තුළ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තිස්පහක ප්‍රමාණයක් එරටින් පිට රැඳී තිබෙන අතර එයින් දහයෙන් එකක් නැවත අමෙරිකාව වෙත ගෙන්වා ගැනීමට පුළුවන්කම ලැබුණහොත් එරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට එමඟින් හැකියාව ලැබේ.

ආසියානු කලාපය

චීනය, ඉන්දියාව, රුසියාව ඇතුළු ආසියානු කලාපය නැඟී සිටීමත් එම රටවල ශ්‍රම වෙළෙඳපොළ නිෂ්පාදන කටයුතු ලාභදායිවීම තුළ ආසියාව වෙළෙඳාම අතින් ඉදිරියේදී ප්‍රබල ලෙස නැඟී සිටින කලාපය බවට පත්ව ඇත.

එමෙන්ම අද වන විට චීනය ලෝකයේ කර්මාන්ත ශාලාව බවට පත්ව තිබේ. මේ සියලු දේ තුළ අමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍යව තිබෙන්නේ තම ආර්ථිකය ශක්තිමත් කර ගන්නා අතර ආසියාවෙන් ඔවුන් වෙත නැඟෙමින් ඇති අභියෝගය පාලනය කිරීමය. ආනයනික භාණ්ඩ සඳහා ඉහළ තීරු බද්දක් පැනවීම තුළ අමෙරිකාව අපේක්ෂා කරනු ලබන ප්‍රබල කරුණක් ලෙස තම ආර්ථිකය ශක්තිමත් කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමත් ආසියාවේ නැඟී සිටීම පාලනය කිරීම යන කරුණු දෙකම ඇතැයි අනුමාන කළ හැකිය.

ලෝකය තුළ වසර සියයකට වරක් අලුත් ආර්ථික මොඩලයක් ස්වභාවිකවම නිර්මාණය වේ. තවද තාක්ෂණ මොඩලය අවුරුදු පනහකට වරක් වෙනස් වේ. අද ඇතිව තිබෙන්නේ එම නව ආර්ථික මොඩල සහ තාක්ෂණ මොඩල නිර්මාණය වීමේ අවස්ථාව වන අතර ඉන්දියාව, චීනය වැනි රටවල් එම නව මොඩලයන් ඇති කිරීම සඳහා එක්ව සිටිති. අමෙරිකාවේ උත්සාහය බවට පත්ව තිබෙන්නේ නව මොඩලය ඇතිවීම වළක්වා තමන්ගේ සාම්ප්‍රදායික මොඩලය ආරක්ෂා කර ගැනීමය. චීනයේ මධ්‍යම පාන්තිකයන් මිලියන නවසියයක් පමණ සිටිති. ඉන්දියාවද එසේය.

අද වෙළෙඳ යුද්ධයක් ලෙස මතුව තිබෙන්නේ මෙම අර්බුදය වන අතර මෙම වෙළෙඳ යුද්ධය සාකච්ඡා මාර්ගයෙන් ආර්ථික සහ ව්‍යපාරික ලෙස සහ එක සාකච්ඡා මේසයක සිට විසඳා ගැනීම කළ යුතු අතර එය එසේ නොවී උණුසුම් යුද්ධයක් බවට පත්වීම සිදු වුවහොත් එය විශාල මානව විනාශයකට මඟ විවර වීමක් විය හැකිය.

මහාචාර්ය

ටියුඩර් වීරසිංහ

ශ්‍රීපාලි මණ්ඩපය 

කොළඹ විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT