යොවුන් පුවත්පත් මාධ්‍ය කලාවෙන්, වෙළෙඳ දැන්වීම් කලාවට පිවිස සැලසිනේ රූපවාහිනී ආයතනයේ පාරිභෝගික හා නිර්මාණ අධ්‍යක්ෂවරයා බවට පත්ව ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසි හේ ලලිත් රෝහිත එදිරිසිංහයි.
මේ දිනවල ජාතික නාළිකාවේ විකාශනය වන ඉරගිනි මද්දහනේ අධ්‍යක්ෂවරයා වන ලලිත් රෝහිත එදිරිසිංහ සමඟ අප කළ කතා බහයි මේ.
‘ඉර ගිනි මද්දහන’ ටෙලි නිර්මාණයට අවකාශය ලැබෙන්නේ කොහොමද ?
රාජ්‍ය සම්මාන දිනූ ලේඛිකාවක වන තරංගා දිසානායක අතින් ලියවුණු හැම පොතක්ම මම කියවලා තියෙනවා. ඒත්, ඇය ලියූ පොත් අතර මම සැරිසැරුවේ වෙනස්ම ආකාරයේ කතා තේමාවන් රැගත් පොතක් වෙතයි. ඇගේ පොත්වලින් මගේ හිතට වැඩිපුරම දැනුණු පොත තමයි Òකඳුළු කුණාටුවÓ කියන නවකතාව. මීට වසර දහයකට, දොළහකට විතර ඉහත Òකඳුළු කුණාටුවÓ කියවලා ඉවර වුණු මොහොතේම මම හිතුවේ කවදා හරි මේ පොත ටෙලි නාට්‍යයකට තිර රචනය කරලා, අධ්‍යක්ෂණය කරනවා කියලයි. ඒ වගේම ඒ පොතේ චරිතත් එක්ක සංසන්දනය කරලා ටෙලි පිටපතක් රචනා කරන්න මට පුළුවන් වුණා. ටෙලි නාට්‍යයකට අවශ්‍ය කතා තේමාව වෙනුවෙන්ම නවකතාව අවස්ථානුකූලව රචනා කළා. මේ නාට්‍යයේ නිෂ්පාදන කටයුතු කළේ ඉරෝෂ් කැලුම් විජේසූරියයි.
දැන් ප්‍රේක්ෂක ඔබට මේ ටෙලිනාට්‍ය සති අන්තයේ දිනවල රාත්‍රී 8.30 සිට 9.00 දක්වා ජාතික රූපවාහිනී නාළිකාව ඔස්සේ රස විඳින්න පුළුවන්.
ප්‍රේක්ෂකයන් ටෙලි නාට්‍යයක් තුළ රඳවා ගන්නට ඔබ යෙදූ උපක්‍රම මොනවාද?
මේ වන විට ටෙලි නාට්‍යයේ සියලු රූපගත කිරීම් අවසන්. මම තිර පිටපතේ තිබෙන විදිහට ඉල්ලන ප්‍රබල අර්ථයන් ගම්‍යමාන වන විදිහට බුද්ධික මංගලගේ කැමරා ඇසින් ප්‍රේක්ෂකයා බලන කැමරා කෝණ අධ්‍යක්ෂවරයා හැටියට ගෙනාවා. ඒ කළ නිර්මාණය තුළ දැනට කොටස් තිස්පහක් පමණ විකාශනය වෙලත් ඉවරයි. නවකතාවක තිබෙන චරිත ටෙලියකට උචිත පිටපතක් බවට පරිවර්තනය කරගෙන එහි ගොඩනැඟෙන චරිත සැබැවින්ම ගොඩනැඟීම තරමක් අපහසු කාර්යයක්. ඒත්, ප්‍රේක්ෂකයා ටෙලි නාට්‍යයක් තුළ රඳවා ගන්නට ඕන කාලසීමාව තුළ ඒ සියලු කටයුතු මම නිර්මාණය තුළ කළා.
නවකතාවක චරිත, ටෙලි නාට්‍යයකට පෙරළීමේදී එය ඔබට යම් අභියෝගාත්මක කරුණක් වෙන්න ඇති ?
නවකතාවක් පාඨකයා කියවද්දි එහි චිත්තරූප මවා ගෙනනේ පොත රසවිඳින්නේ. පාඨකයා සිතින් මවාගෙන ඉන්න රූප සජීවීව මවන එක හිතන තරම් ලේසි නැහැ. එයට තෝරාගන්නා හැම චරිතයක්ම ඊටම අනුගත විය යුතුයි. එහිදී තිර රචනයට අදාළව පාඨකයා මවා ගත්ත චරිතවලට හානියක් නොවන විදිහට තිරය ඉදිරියේ චරිතයක් මැවීම බොහෝම පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. පොතේ රසයට වඩා ඒ චරිතවලට සජීවී රසයක් එකතු කරන්න ගත්ත උත්සාහය සාර්ථකයි කියලා දැනට විකාශනය වූ කොටස්වලින්, ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් මට කියන්න පුළුවන්. මේ නිර්මාණය තුළ නවකතාවේදී දුටු දර්ශන, රූප රාමු සහ ජීවන චරිත එලෙසින්ම ගෙන ඒම මා ඇතුළු නිෂ්පාදක කණ්ඩායම දරපු උත්සාහය අද පල දරලා තියෙනවා. කොටස් පනහකින් මේ නාට්‍යය නිමාව දකිනවා.
‘ඉර ගිනි මද්දහන’ නිර්මාණය තුළ ඔබේ ජීවිත අත්දැකීම් ඇතුළත් ද ?
මම අහලා කියවලා, දැකලා තියෙන විදිහට ලෝකේ පොඩි තැනින් පටන් ගත්ත මිනිස්සු තමයි, අද ලෝකෙ ඉහළම තැන්වල ඉන්නේ. පරිසරයත් එක්කම ජීවන බර දරා ගත්, අය කරන සටන මම හොඳාකාරවම දැක්කා. මමත් ඒ වගේම භූමියක ඉඩෝරයට හැදිච්ච පැළයක් හා සමානයි. ඇත්තටම මේ නිර්මාණය තුළ තියෙන්නේ මගේ ජීවිතයට සම්බන්ධ ඇත්දැකීම් තමයි. මම වගේ නැගිටින්න උත්සාහ දරන නිර්මාණකරුවෙක් හැටියට නොදන්නා දේට වඩා, දන්නා තැනින් පටන්ගෙන වැඩේ ඉවර කළාම හොඳයි කියලා මට හිතුණා.
ඒ, ඒ පළාත්වල මිනිසුන්ගේ සජීවී අත්දැකීම් හා සිතුම් පැතුම් මම සජීවීව අත්දැකලා තියෙනවා. ඔවුන්ට දැනෙන හැඟීම්ම තමයි මගේ ජීවිතය තුළත් තියෙන්නේ. ඒ පරිසරයට අනුගත වෙච්ච කෙනෙකුට පමණයි එය දැනෙන්නේ. මගේ ජීවිතේ හා සමාන නිසා පිටපතට අනුගත වෙලා මට ඒ හැඟීම් තිරයට ගේන්න පහසු වුණා.
“ඉරගිනි මද්දහනේ” ඉස්මතු කරලා පෙන්වන චරිත, කතාව තුළ ජීවත් කරන්නේ මහපොළොවේ පය ගහලා ජීවත් වෙන කාන්තාවක් ගැන හා එයට එකතු වන අනුචරිතයි. පොත රස වින්දා හා සමානවම සෑම පුද්ගලයෙකුම නැරඹිය යුතු ටෙලි නාට්‍යයක් කියලයි මම හිතන්නේ. විශේෂයෙන් අද ජීවත්වන කාන්තාවන් මෙය නැරඹිය යුතුමයි. මෙහි එන ප්‍රධාන චරිතය සමන්තා කියන්නේ අනේකවිධ බාධක හමුවේ නොසැලී සෑම අභියෝගයකටම සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වන කාන්තාවක්. ගැහැනු පිරිමි දෙපක්ෂයම ආදරය හමුවේ වරද්ද ගන්නා හා සමානවම සමන්තාත් ආදරය හමුවේ රැවටිලි මායාකාර ලෝකේ පරාජිතයකු බවට පත්වෙනවා. ඒත්, සමාජයේ ඉදිරියේ ඇය මහා වෘක්ෂයක් හා සමානව නොසැලී ඉන්නවා.
නළු වර්ණයේදී ඔබ වඩාත් සැලකිලිමත් වුණේ කුමන අංගයන්ටද ?
නවකතාවේ එන චරිතත් එක්ක සංසන්දනය කරලා තිර පිටපතට ගැළපෙන චරිත තෝරාගත්තා. ඉතාම දක්ෂ සහ ඕනෑම දේකට මුහුණ දෙන්නට පුළුවන් නළු වර්ණයක් සම්බන්ධ කර ගැනීමට මට හැකිවුණා. වෙනත් නිර්මාණවල නොදුටු දේවල් මේ එකතු වුණු පිරිස් තුළ මම දැක්කා. එකිනෙකාගේ ආකල්ප දම්වැලක පුරුකක් මෙන් එකට බැඳුණා. ඒ නිසා මේ නිර්මාණය තුළ ජීවත්වීම හා ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය විශිෂ්ටයි. තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, චමීර ලියනගේ, සුභූති ලක්මාලී, අවන්ති අපොන්සු, නයනා රඹුක්කන, සම්පත් කරුණාරත්න, ලෝචනා ඉසුරින්දී, ඇතුළු අනෙකුත් සියලුම නළු නිළියන් පිරිස මට නොමසුරු සහයෝගයක් ලබා දුන්නා. හොඳ බීජයක් ලැබුණොත් හොඳ වෘක්ෂයක් හට ගන්නවා. එවිට එම වෘක්ෂය කල්ප කාලාන්තරයක් වැජඹෙනවා. කල්පාන්තරයක් කතාවට භාජනය වන හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ගෙන එන්නයි, මටත් අවශ්‍ය වුණේ.
ටෙලි නිර්මාණක් විකාශනය කිරීමේ කාර්යය ගැන ඔබේ අදහස කුමක්ද ?
ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වන හොඳ නිර්මාණ බිහි වෙනවා. ඒත්, අද ටෙලිනාට්‍යයක් නිර්මාණය කරනවාට වැඩිය අමාරුයි විකාශය කර ගැනීම. මම ටෙලි නාට්‍ය හදලා චැනල්වලට දී ගන්න හැම චැනල් එකක් ගානෙම ගියා. අවුරුදු ගාණක් මේ විදිහට ඇවිද්දා. මේ විදියට නිර්මාණය කරලා විකාශය කරගන්න බැරි වෙනකොට අපි කලාව තුළ කොච්චර අසරණයිද කියලා මට හිතුණා. මේ නිර්මාණය කරලා විකාශනය වෙනකම් මම ආපහු ටෙලි නාට්‍ය කරන්නේ නෑ කියන ස්ථාවරයේයි හිටියේ. නිර්මාණවේදියෙක් ලෙස මානසික පසුබෑමකට මේ තුළින් මම ලක් වුණා.
ඒ දුන්නත් අපි අනුමත කරගත්ත මුදලවත් ලබා ගන්න හරිම අමාරුයි. ඒක තමයි, මේ කර්මාන්තයේ තියෙන ලොකුම ප්‍රශ්නය. මේ නිර්මාණය වෙනුවෙන් දායක වුණු, උදවු කළ සියලුම දෙනාටම ස්තුතියි.
නිශ්ශංක විජේරත්න