දැනට අත්අඩංගුවේ රඳවා සිටින ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් කිසිදු වරදක් කර නැති බව තමන් සමඟ හැඬූ කඳුළින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය. පිල්ලෙයාන් සහ ගම්මන්පිල අතර ඇති සුසංයෝගි අන්තර් සම්බන්ධය කවරාකාර එකක් දැයි අපි නොදනිමු.
එහෙත් මෙය බරපතළ ප්‍රතිවිරෝධි අන්ත දෙකක සමපාතවීමක් ලෙස හඳුනා ගැනීමට අමුතු දේශපාලනික දැක්මක් අවශ්‍ය නැත. ගැටලුව වන්නේ එකී සමපාත වීම සිදු වන්නේ කවර කරුණක් පාදකකොට ගෙන ද යන්නයි.
වර්තමානයේ උදය ගම්මන්පිල මහතා තමා පිල්ලෙයාන්ගේ නීතිඥයා පමණක් නොව, ප්‍රකාශකයා බවට ද පත්ව සිටින බව සඳහන් කර සිටියි.
පිල්ලෙයාන් යනු එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ අංශය භාරව කටයුතු කළ කරුණා අම්මාන්ගේ අනුගාමිකයෙකි; පසුව එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී වෙන් වී ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වූ අයෙකි. ඒ පිළිබඳව ඔහුට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැත. ගැටලුව වන්නේ පිල්ලෙයාන්ගේ අතීත භාවිතයන් පාරිශුද්ධකරණයට උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් වීමයි.
නීතිඥවරයකුට, තමාගේ සේවය අපේක්ෂා කරන ඕනෑම අයකුට ස්වකීය සේවය සැලසීම පිළිබඳව ද ගැටලුවක් නැත. එහෙත් ගම්මන්පිල මහතා එකී නීතිමය ආවරණය භාවිත කරන්නේ ස්වකීය දේශපාලනික වුවමනාවක් හේතුවෙනි.
තමා එවැනි සද්භාවයෙන් යුතුව පුද්ගල මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, යුද්ධය නිසා මියැදුණු උතුරේ නිරායුධ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබිණි. එහෙත් ඔහුගේ එවැනි දේශපාලනික භාවිතයක් අපට හඳුනා ගැනීමට නැත.
ජෝසප් පරරාජසිංහම් ඝාතනය, නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන යෑම, පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් චුදිතයකු වීම, කොටි සංවිධානයේ ආයුධ දරමින් නිරායුධ ජනතාව ඝාතනය කිරීම යනාදී ඝාතන ලැයිස්තුවක් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට චෝදනා එල්ල වී තිබේ. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ද වරෙක ඔහුට එකී චෝදනා එල්ල කොට තිබිණි. ඒ ප්‍රසිද්ධියේ ය.
එසේ නම් සිංහල බෞද්ධ ජාතිකවාදී හැඟීමෙන් යුක්ත, පරම පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පෙනී සිටින්නේ එවන් වූ ත්‍රස්ත නායකයකු වෙනුවෙනි. සිංහල බෞද්ධ පරමාදර්ශය හා පරම පිවිතුරු හෙළ උරුමයත්, වර්ගවාදී මිනීමරු චෝදනා එල්ල වූ නායකයකුත් අතර ඇති දේශපාලනික සම්බන්ධය කියවා ගැනීමට යෑමේදී මෙරට ජන සමාජය විපිළිසර වනු ඇත.
1990 වසරේ එල්ටීටීඊ සංවිධානයට එකතු වූ පිල්ලෙයාන් 2004 වසර දක්වා එහි සන්නද්ධ අංශය නියෝජනය කළේ ය. 2004 වසරේදී ඉන් ඉවත් වී කරුණා අම්මාන් සමඟ දේශපාලන කටයුතු කළේය. කොටි සංවිධානය අරන්තලා භික්ෂු ඝාතනය සිදු කරන විටත්, දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරන විටත් පිල්ලෙයාන් කොටි සංවිධානයේ ය. එහි සන්නද්ධ අංශ නායකයා වන කරුණා අම්මාන් සමඟ අවි ආයුධ දැරුවේ ය. ගම්මන්පිල මහතා විස්සෝප වී ඇත්තේ එවන් වූ පිල්ලෙයාන්ගේ කඳුළු දැකීමෙනි.
ඉතා ඉක්මනින් උණු වන සහානුකම්පිත හදවතක් සහිත මානව දයාවෙන් පිරි උදය ගම්මන්පිල මහතාගේ හෘදයසාක්ෂිය කියවා ගැනීමට මෙය ඉතා හොඳ සාධකයකි. උතුරේ නිරායුධ ජනතාව යුද්ධයෙන් පරිපීඩිතව මියයන විට ඔවුන් වෙනුවෙන් උණු නොවුණු ගම්මන්පිල මහතාගේ හදවත පිල්ලෙයාන් වෙනුවෙන් උණු වී තිබේ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආශීර්වාදයෙන් 2008 සිට 2012 දක්වා කාලපරාසය තුළ නැඟෙනහිර පළාත් මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඔහුට රනිල් වික්‍රමසිංහ, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ද පිරිනැමුවේ ය.
අත්අඩංගුවේ සිටින පිල්ලෙයාන්ට දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙස ඉල්ලා සිටියේ මේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ය. අත්අඩංගුවේ සිටින අයකු සමඟ දුරකතනයෙන් සාකච්ඡා කිරීමට ඇති අතිශය දේශපාලනික කාරණය කිමෙක් දැයි අපට තේරුම්ගත නොහැකි ය. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයාට පිල්ලෙයාන් අරබයා ඇති ළැදියාව කවරක් ද යන්න ප්‍රශ්න කළ යුතු බවයි.
නීතිඥවරයකු යනු ආචාරධර්ම සහිත වෘත්තියක නිරතවන්නෙකි. ස්වකීය සේවාදායකයා නීතිඥවරයාට දෙන ප්‍රකාශ ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය ඔස්සේ රටට කීම ආචාරධර්ම උල්ලංඝනය කරන්නකි. නඩු කටයුත්තකට අදාළ කාරණා සමාජගත කිරීමෙන් ගම්මන්පිල නමැති අති ගෞරවනීය නීතිඥවරයා බලාපොරොත්තු වූයේ කවර කාරණයක් දැයි අපි නොදනිමු.
එනිසා ගම්මන්පිල මහතා පිල්ලෙයාන්ගේ නීතිඥවරයා සහ ප්‍රකාශකයා යන තනතුරුවලින් ඔබ්බට ගොස්, අප නොදන්නා තවත් කාර්යයක නිරත වන බව අනුමාන කළ හැකි ය. සතියට දෙක බැගින් පුවත්පත් සාකච්ඡා පවත්වමින් තමා දේශපාලනයෙන් ප්‍රතික්ෂේපවීමේ මනෝමය කම්පනය ඔහු ප්‍රකාශ කරන්නේ සතුරා සමඟ වුව ද මිතුරු වීමේ අදේශපාලනික හිරිකිතය තමන්ට නැති බව මිසක් අන් කවරක් ද?
බ්‍රිතාන්‍ය රූපවාහිනී නාළිකාවක් වන චැනල් ෆෝ නාළිකාව පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවට අදාළව විකාශය කරන ලද වාර්තාමය වීඩියෝ වැඩසටහනට පිල්ලෙයාන්ගේ ප්‍රකාශයක් ගත්තේ නිකම්ම නිකම් ප්‍රකාශයක් ලෙස දැයි අපට ප්‍රශ්න කළ යුතුව ඇත.
අපරාධ චෝදනා සම්බන්ධයෙන් පිල්ලෙයාන් රිමාන්ඩ් වූ වාර ගණන කීයක් දැයි ඔහුවත් නොදන්නවා ඇත. ඒ තරමට ඔහු රක්ෂිත බන්ධනාගාරගත වී තිබේ. ගම්මන්පිල මහතා වරදක් කර නැතැයි කියන්නේ එවන් වූ පිල්ලෙයාන් පිළිබඳව ය.
පිල්ලෙයාන්ගේ කඳුළු දැක උණු වූ ගම්මන්පිල මහතා පිළිබඳව අපේ මතකයේ ඇත්තේ පරම පිවිතුරු බෞද්ධ රාජ්‍යයක් ගොඩනැඟීමට කැප වූ අයකු ලෙසයි. ඔහු පෙනී සිටියේ බෞද්ධයන්ටත් වඩා බෞද්ධයකු ලෙස ය; පරමාදර්ශී සියලු චරිතවලට වඩා පරමාදර්ශි අයකු ලෙස ය. ඒ නිසා චම්පික රණවකගේ සිට මහින්ද රාජපක්ෂ දක්වා වූ නායකයන්ගේ සිට දිලිත් ජයවීරගේ ව්‍යවසායක රාජ්‍යය දක්වා ඔහුගේ බෞද්ධ ප්‍රතිපත්තිය මාරු වී තිබිණි. එනිසාම ඔහුට වර්තමානයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සහ පිල්ලෙයාන් නමැති හිටපු එල්ටීටීඊ නායකයා සමඟ එකපෙළට හිටගැනීමට හැකිව තිබේ. එපමණක් නොව, ඔවුන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමට පවා ඔහු ඉදිරිපත් වී සිටියි. අතීතයේ කරන ලද සිදුවීම් දෛවෝපගත ලෙස තමන්ට බලපාන ආකාරය තේරුම් ගැනීමට ගම්මන්පිල මහතාගේ හැසිරීම අවබෝධ කොටගැනීම ප්‍රමාණවත් ය.
අපි පිල්ලෙයාන්ගේ කඳුළු නොදැක්කෙමු; රූපවාහිනී තිර ඉදිරියේ හඬාවැටුණු රෝහිත අබේගුණවර්ධන සහ දොඩම්පහළ රාහුල හිමි නම් අපි දැක්කෙමු. ඒ කඳුළු දැක අපට ඇතිවූයේ සංවේගයක් නොව, විස්සෝපයකි. එහෙත් පිල්ලෙයාන්ගේ කඳුළුවලට ගම්මන්පිල මහතා සලිත වී තිබේ.
අපට ඇත්තේ පිල්ලෙයාන් වැනි අය නිසා පීඩාවට පත් නිරායුධ සිංහල සහ දෙමළ ජනතාවගේ කඳුළු පිළිබඳ ගැටලුවයි. එහෙත් ඒවා රූපවාහිනී තිර ඉදිරියේ ප්‍රදර්ශනය නොවීය.
පිල්ලෙයාන් මුලින් නියෝජනය කළ කොටි සංවිධානය පූර්ණ සන්නද්ධ සංවිධානයකි. එකල ඉතා බරපතළ ආකාරයේ මනුෂ්‍ය ඝාතන එමඟින් සිදු කෙරිණි. පසුව නියෝජනය කළ කරුණා අම්මාන්ගේ සංවිධානයත්, ඔහු විසින් ගොඩනඟා ගනු ලැබූ දෙමළ මහජන විමුක්ති සංවිධානයත් (TMVP) අර්ධ මිලිටරිමය සංවිධානයකි. ඒවාට එලෙස අවි ආයුධ දැරීමට එවකට පැවති රාජ්‍ය පාලනතන්ත්‍ර ඉඩ සලසා දී තිබූ බව සත්‍ය කාරණයකි.
මේ මොහොතේ පිල්ලයාන්ගේ අතීත දේශපාලන භාවිතය මත ඔහුට තීන්දු තීරණ දෙන්නැයි අපි නොකියමු; ගම්මන්පිල මහතාට ද අතීත දේශපාලන භාවිතය අමතක කොට නීතිඥයකු ලෙස දෙමළ ත්‍රස්ත සංවිධානයක අයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය පිළිගනිමු; හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ද කවර හෝ කාරණයක් මත දුරකතනයෙන් පිල්ලෙයාන් ඇමතීමට ඇති අවශ්‍යතාව කවරේදැයි තේරුම්ගත නොහැකි නමුත්, ඒ වෙනුවෙන් ඔහුට ඇති අයිතිය ද පිළිගනිමු; ත්‍රස්ත සංවිධානයක නායකයකුගේ කිඹුල් කඳුළු ඉදිරියේ සංවේදී වීමට ගම්මන්පිල මහතාට ඇති අයිතිය ද අපි එලෙසම පිළිගනිමු. එහෙත් එය ඔහුගේ සිංහල බෞද්ධ පරමාදර්ශි රාජ්‍යයට කොතරම් ගැළපේ දැයි යළිත් ප්‍රශ්න කළ යුතුව ඇත.
මේ නිසා ජන සමාජයේ සබුද්ධික පුරවැසියන්ට අවධාරණය කිරීමට ඇති කාරණයක් පවතී. පිල්ලෙයාන්ගේ කඳුළු සමඟ සංවේදී වන ගම්මන්පිලගේ ප්‍රකාශත්, ඔහු දුරකතනයෙන් ඇමතීමට හිටපු ජනාධිපතිවරයා ගන්නා උත්සාහයත්, අතීත ඝාතන සිදුවීම් යන සියල්ලත් දේශපාලනික බරකින් යුතුව කියවා ගැනීමට මෙරට ජන සමාජය සමත්ව ඇතැයි යන අපේක්ෂාව අප තුළ තවමත් පවතියි.
අපි ඒ ගැටලුව සබුද්ධික දේශපාලනික ජන සමාජය හමුවේ තබමු.