Home » සිරි දළදා වන්දනාව බැතිමතුන්ට ලැබෙන දුලබ අවස්ථාවක්

සිරි දළදා වන්දනාව බැතිමතුන්ට ලැබෙන දුලබ අවස්ථාවක්

-දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

by sachintha
April 18, 2025 1:44 am 0 comment

වසර 16කින් දළදා දැක්මක් පවත්වා නොතිබීම නිසා ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපතිතුමන් විසින් සිදු කළා. ඒ අනුව රටේ පවතින වාතාවරණය ද සැලකිල්ලට ගෙන මේ අවස්ථාව දළදා දැක්මක් පැවැත්වීමට සුදුසු බවට මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා මා තීරණය කළා.

 

කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට දළදා දැක්ම වෙනුවෙන් මුදල් එකතු කිරීමේ හැකියාවක් නැහැ. මාලිගා පරිශ්‍රයට ඇතුළු වන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් දළදා මාලිගාව මඟින් සපයනවා. ඒවා අධීක්ෂණය කිරීමේ වගකීම මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා තිබෙනවා.

දහසය වසරකට පසු දළදා වහන්සේ සියැසින් දැක වැඳ පුදා ගැනීමේ අවස්ථාව අද (18) සිට ජනතාවට හිමිවෙයි. ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගෙන් සහ දියවඩන නිලමේවරයාගෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මේ සඳහා වන දිනවකවානු තීරණය විය. ඒ අනුව අද (18) සිට පුරා දින 10 ක් ශ්‍රී දළදා වන්දනාව සඳහා අවකාශ සැලසෙන අතර ඊට අදාළව දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් සංවිධාන කටයුතු සිදු කරන්නේ දියවඩන නිලමේවරයාගේ මූලිකත්වයෙනි. දළදා වහන්සේගේ වත්මන් ගිහි භාරකාරත්වය හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ දළදා වන්දනාව සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.

ශ්‍රී දළදා වන්දනාව සඳහා ජනතාවට අවස්ථාවක් ලැබී තිබෙන්නේ වසර 16කට පසුවයි. මෙම අවස්ථාව ලබා දීමට මෙතරම් කාලයක් ප්‍රමාද වූයේ ඇයි?

අවසන් වරට දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙන්නේ 2009 වසරේදී යි. සාමාන්‍යයෙන් දැක්මක් පවත්වන්නේ වසර පහකට පමණ වතාවක්. මේ අනුව 2009 න් පසු නැවත දළදා දැක්මක් පැවැත්විය යුත්තේ 2014 දී යි. එම වසර අවසානයේ ජනාධිපතිවරණයක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වී 2015 ජනවාරි මාසයේ දී එම ජනපතිවරණය පැවැත්වුණා. ඒ වගේම අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් අසනීප තත්ත්වයෙන් පසුව එම වසරේ මාර්තු මාසයේ දී අපවත් වුණා. දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය දරන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නමක් අපවත් වුණාම චාරිත්‍ර අනුව වසරක පමණ කාලයක් යනතෙක් දළදා දැක්මක් පැවැත්විය නොහැකියි. උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ මහනායක පදවියට පත් වූ ගලගම ශ්‍රී අත්ථදස්සී නාහිමියන් 2017 වසරේ දී අපවත් වුණා. ඒ අනුව තවත් වසරක යනතෙක් දළදා දැක්මක් පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට පසුව 2018 දී පාස්කු ප්‍රහාරය එල්ල වෙනවා. ඒ සමඟ දළදා මාලිගාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් තර්ජනයක් එල්ල වෙනවා. එම පසුබිම තුළ එම වසරේ දී දළදා වන්දනාව සඳහා ජනතාවට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන 2020 දී ජනතාවට දළදා වහන්සේ සියැසින් දැක බලා ගැනීමට අවස්ථාව ලබා දීමට සැලසුම් කර තිබුණත් නොසිතූ ලෙස පැමිණි කොවිඩ් වසංගතය නිසා ඒ අවස්ථාවත් මඟහැරුණා. කොවිඩ් නිසා 2020 මාර්තු මාසේ රට වසා දැමුණා. එතැන් සිට වසර දෙකක් පමණ ඒ ප්‍රශ්නය නිසා අපි පීඩා වින්දා. 2023 දී අරගලය එනවා. පසුව ආර්ථික අර්බුදය මතු වෙනවා. මේ සියල්ල අවසානයේ දළදා වන්දනාව සඳහා සුදුසුම කාලය තමයි දැන් එළඹ තිබෙන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු නොපමාව ඒ සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහ මා තීරණය කළා.

දළදා දැක්මක් පැවැත්විය යුතු බවට තීරණය ගනු ලබන ආකාරය සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරනවා නම්

දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙතත් ගිහි භාරකාරත්වය දියවඩන නිලමේවරයාටත් පැවරී තිබෙනවා. වසර 16කින් දළදා දැක්මක් පවත්වා නොතිබීම නිසා ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපතිතුමන් විසින් සිදු කළා. ඒ අනුව රටේ පවතින වාතාවරණය ද සැලකිල්ලට ගෙන මේ අවස්ථාව දළදා දැක්මක් පැවැත්වීමට සුදුසු බවට මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හා මා තීරණය කළා. ඒ අනුව දින වකවානු තීරණය කරලා ඒ බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

දළදා දැක්මක් පැවැත්වෙන අවස්ථාවක දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය කුමක් ද?

දියවඩන නිලමේවරයා සලකන්නේ දළදා වහන්සේගේ ගිහි භාරකරු ලෙසයි. දළදා වහන්සේ වැඩ සිටින කරඬු හතෙන් තුනක යතුරු මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේවරයාගේ භාරයේ පවතින්නේ. මේ නිසා දළදා වහන්සේ එම කරඬුවලින් පිටතට වැඩම කරවීමේ දී වගේම දළදා දැක්ම පැවැත්වෙන අවස්ථාවේත් නැවත උන්වහන්සේ කරඬු තුළ තැන්පත් කරන අවස්ථාවේදීත් මහනායක හිමිවරු දෙනම සහ දියවඩන නිලමේවරයා සිටිය යුතුයි. වාර්ෂිකව දළදා මාලිගාව කේන්ද්‍ර කරගනිමින් මහා මංගල්‍යයන් හතරක් පවත්වනවා. සතර මහා මංගල්‍යයන් ලෙස සලකන අලුත් සහල් මංගල්‍යය, අලුත් අවුරුදු මංගල්‍යය, පෙරහර මංගල්‍යය සහ කාර්තික මංගල්‍යය පෞරාණික චාරිත්‍ර අනුව ඉටු කිරීම දියවඩන නිලමේවරයාට පැවරෙන එක් වගකීමක්. මීට අමතරව දළදා මාලිගාව මූලික කර ගනිමින් තවත් චාරිත්‍ර සහ සම්ප්‍රදායන් රැසක් පවතිනවා. මේවා සියල්ල ඉෂ්ට සිද්ධ කිරීම ඇතුළු තවත් වගකීම් රැසක් මේ ධුරය යටතට පැවරී තිබෙනවා.

දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමට මිලියන දෙකකට වැඩි ජනතාවක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා. දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ දෛනිකව දළදා වහන්සේ වන්දනා කරන්නට හැකියාව ලැබෙන්නේ ලක්ෂයකටත් අඩු පිරිසකටයි. මෙම පසුබිම තුළ වන්දනා කිරීමට ලබා දෙන පැය ගණන වැඩි කිරීමක් කළ නොහැකි ද යන්න සම්බන්ධයෙන් අදහස් හා යෝජනා මතුවෙනවා.

මහනුවර ශ්‍රී දළදා මැදුරේ වැඩසිටින බුදුන් වහන්සේගේ සූඅසූදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අප කවුරුත් සලකන්නේ ජීවමාන බුදුන් වහන්සේ ලෙසයි. එදා බුදුරජාණන් වහන්සේ උදෙසා සැරියුත් මුගලන් රහතන් වහන්සේලා කළ සත්කාර ඒ ආකාරයෙන්ම තේවාව භාර ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉටු කරනවා. රජු විසින් දළදා වහන්සේ උදෙසා කළ පුද සත්කාර ඒ ආකාරයෙන්ම අඛණ්ඩව පවත්වාගෙන එනවා. ඒ සඳහා නිශ්චිත වෙලාවල් තිබෙනවා. ඒ වෙලාවල් අපේ හිතුමතේට වෙනස් කරන්න බැහැ. සමහර ඒවා රාජ නියෝග. ඒ නිසා දළදා වහන්සේ වන්දනාව පැවැත්වෙන පැය ගණන දීර්ඝ කිරීමේ කිසිම හැකියාවක් නැහැ. පස්වරු 6.00ට දළදා වහන්සේ නැවත ගන්ධ කුටියට වැඩම කරලා ගිලන්පස පූජා කටයුතු පැවැත්විය යුතුයි. සමහර චාරිත්‍ර දියවඩන නිලමේ වුණත් ගිහියෙක් ලෙස මට බලන්න බැහැ. එහෙත් පැමිණෙන ජන සංඛ්‍යාව සැලකිල්ලට ගෙන දළදා දැක්ම පැවැත්වෙන දින ගණන යම් ආකාරයකට දීර්ඝ කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ සඳහාත් තවම තීරණයක් ගෙන නැහැ.

වසර 16කට පසු දළදා වන්දනාව සඳහා ජනතාවට අවස්ථාවක් ලැබීම සුවිශේෂ කරුණක් ලෙස සැලකිය හැකියි. මේ ඔස්සේ යම් ආකාරයක ජාතික හා ආගමික ප්‍රබෝධයක් ඇතිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා නේද?

ලෝකවාසී බෞද්ධ ජනතාව දළදා වහන්සේ සලකන්නේ ජීවමාන බුදුන් ලෙසයි. තවත් පැත්තකින් අපේ රටේ ජනතාව අතීතයේ සිට දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතය ලෙස සැලකුවා. බලයට පැමිණි රජවරු දළදා වහන්සේගේ හිමිකාරත්වය ලබා ගැනීම ඔස්සේ තමයි රාජ්‍යත්වය සම්පූර්ණ කර ගත්තේ. රජවරු හැම වෙලාවේම දළදා වහන්සේගේ ආරක්ෂාව උපරිමයෙන් සැලකුවා. ඒ නිසා තමයි රාජ මාලිගාව අසලින්ම දළදා වහන්සේ වැඩ හිඳුවා පූජෝපහාර කළේ. ඒ වගේම රජු සෑම විටම දළදා වහන්සේට ප්‍රමුඛත්වය දීලා තමයි කටයුතු කළේ. ඒ අභාසය රට තුළ තිබෙනවා. මේ රටේ සියලු ජාතීන් තුළ දළදා වහන්සේ පිළිබඳ ගෞරවයක් තිබෙනවා. ජාති ආගම් භේදයෙන් තොරව දළදා වහන්සේගේ වටිනාකම පිළිබඳව හැමෝටම අවබෝධයක් තිබෙනවා. මේ වනවිටත් සිංහල බෞද්ධ ජනතාව මෙන්ම සෙසු ආගමිකයින් ද දළදා වන්දනාව සඳහා පැමිණෙන ජනතාවට ආහාරපානවලින් සංග්‍රහ කිරීමට පෙළ ගැසී සිටිනවා. මේ ඔස්සේ ජාතික හා ආගමික ප්‍රබෝධයක් ඇතිවන බවට පෙර සලකුණු මේවා.

විදේශ රටවල ජනතාවගේ ආකර්ෂණයත් මේ සඳහා යොමු වෙනවා නේද?

ඔව්. මීට පෙර දළදා වන්දනාව පැවති අවස්ථාවල විශාල ලෙස විදේශීය රටවල ජනතාවගේ ආකර්ෂණය ලැබී තිබෙනවා. ඒ අනුව මෙවරත් දළදා වන්දනාවට විදේශීය ජනතාව සැලකිය යුතු පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙවර දළදා වන්දනාව සඳහා පැමිණෙන ජනතාවට දළදා මාලිගාව මඟින් විශේෂ දන්සලක් පැවත්වීමටත් සැලසුම් කර තිබෙනවා නේද?

දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ රැය පහන් කරන බැතිමතුන් වෙනුවෙන් මේ දන්සල පස්වරු 7.30 සිට අලුයම 2.30 දක්වා ක්‍රියාත්මක කරනවා. මෙමඟින් දවසකට 30000කට පමණ ආහාර පාන ලබා දීමට අපි සැලසුම් කර තිබෙනවා. පෝලීම් වල සිටින බැතිමතුන්ට දන්සල් භූමියට පැමිණ ආහාර ලබාගත හැකියි. ඔවුන් හැමෝටම ටෝකනයක් නිකුත් කරන අතර ආහාර ගැනීමෙන් පසු යළිත් පෝලිමේ තමන් සිටි ස්ථානයටම යාමට හැකියි.

දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාවට පණිවිඩයක් ලෙස යම් දැනුම් දීමක් කරනවා නම්

බැතිමතුන්ට බාධාවකින් තොරව දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවශ්‍ය පහසුකම් සියල්ල රජය සහ දළදා මාලිගාව මැදිහත්ව සපුරාලීමට කටයුතු කර තිබෙනවා. අතිවිශාල ජනතාවක් පැමිණෙන නිසා ඇතැම් විට පෝලිම්වල දිගු වේලාවක් ඉන්න සිදුවේවි. මේ සහභාගි වෙන්නේ පුණ්‍ය කටයුත්තකට කියන සිතුවිල්ල පෙරදැරිව ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මා පෙර සඳහන් කළ පරිදි දළදා මාලිගාව මුල්කර ගනිමින් චාරිත්‍ර හා සම්ප්‍රදායන් රැසක් ක්‍රියාත්මකයි. ඒවාට මූලිකත්වය ලබා දෙමින් තමයි අපි මේ වන්දනාව සඳහා බැතිමතුන්ට අවස්ථාව ලබා දී තිබෙන්නේ. මේ ඔබ ලබන්නේ දළදා වහන්සේ ජීවිතයේ දකින එකම අවස්ථාව විය හැකියි. ඒ නිසා මෙහි වටිනාකම තේරුම් ගෙන වන්දනාව සඳහා පැමිණෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා. මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු අපි හැමෝම උත්සාහ කරන්නේ හැකි උපරිම අවස්ථාවක් දළදා වන්දනාව සඳහා ලබා දීමටයි. ඒ සියල්ල තීරණය කෙරෙන්නේ තවත් චාරිත්‍ර හා සම්ප්‍රදායන් රැසක් මධ්‍යයේ බව තේරුම් ගැනීම වැදගත්.

මුදල් එකතු කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක වෙන බවක් පේන්න තිබෙනවා නේද?

කිසිම පුද්ගලයකුට හෝ සංවිධානයකට දළදා දැක්ම වෙනුවෙන් මුදල් එකතු කිරීමේ හැකියාවක් නැහැ. මාලිගා පරිශ්‍රයට ඇතුළු වන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් දළදා මාලිගාව මඟින් සපයනවා. ඉන් පිටත දී ජනතාවට සංග්‍රහ කිරීම් කරන්න යම් යම් පුද්ගලයින් හා සංවිධාන කටයුතු කරනවා. ඒවා අධීක්ෂණය කිරීමේ වගකීම මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාට පවරා තිබෙනවා. මීට අමතරව ප්‍රවාහනය සහ සනීපාරක්ෂක කටයුතු ආදියද අධීක්ෂණය කෙරෙන්නේ එතුමා විසිනුයි. දළදා මාලිගාවෙන් පිටත කෙරෙන කටයුතු වලට ස්වේච්ඡාවෙන් දායක විය හැකියි. සේවා සපයන මුවාවෙන් මුදල් එකතු කිරීම සඳහා කිසිවකුටත් අවසරයක් ලබා දී නැහැ.

 

සාකච්ඡා කළේ

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT