අයිපීඑල් තරග බිමේ අඩු ලකුණු සංඛ්‍යාවක් හඹා ගිය කණ්ඩායමක් පරාජයට පත් කළ විරල අවස්ථාවක් ඉතිහාසයට එක් කරමින් පන්ජාබ් කිංග්ස් පිල හමුවේ කල්කටා නයිට් රයිඩර්ස් පිල ලකුණු 16කින් පරාජයට පත්විය. පෙරේදා මොහාලි නුවර පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පන්ජාබ් පිල ඕවර 15.3කදී ලකුණු 111කට දැවී ගියද, යුස්වේන්දර් චාහල්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වූ කල්කටා පිතිකරුවෝ ලකුණු 95කට දැවී ගියහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ද, පන්ජාබ් පිලේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට ලකුණු 39ක් එක් කිරිමට සමත්වූවත්, මැදපෙළ සුනු විසුනු වී ගියේය. ලකුණු 47ක් ඇතුළත පිතිකරුවන් 7 දෙනකුම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට කල්කටා පන්දු යවන්නෝ සමත්වූහ.
ලකුණු 111ක ඉලක්කය බැලූබැල්මට පහසු වුවද, ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 7ක් ඇතුළත දවාලීමට පන්ජාබ් පිල සමත්වීමෙන් පසු කල්කටා පිලට දැඩි පීඩනයක් එල්ල විය. නායක අජින්ක්‍යා රහානේ සහ අන්ග්ක්‍රිෂ් රගුවන්ෂි එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 55ක් එක් කළ ද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. මුළු ලකුණු සංඛ්‍යාව 62දී රහානේ දැවී යෑමෙන් පසු සෙසු පිතිකරුවන් 7 දෙනා දැවී ගියේ ලකුණු 33ක් ඇතුළතදීය. විස්මිත පන්දු යැවීමක නිරත වූ චාහල් සිය ඕවර 4දී ලකුණු 28ක් පමණක් ලබාදී කඩුලු 4ක් දවාගැනීමට සමත් විය.