ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 1500 බාලිකා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටි නිදුකි ප්‍රාර්ථනාට සහ අයේෂා සෙව්වන්දිට නියමිත වේලාවට තරග ආරම්භක කාර්යාලයට පැමිණීමට නොහැකිවීමෙන් එම තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවීමේ කනගාටුදායක පුවතක් සෞදි අරාබියේ දමාම් නුවරින් වාර්තා වේ. දමාම් නුවරදී පෙරේදා ආරම්භ වූ 6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ එරට වේලාවෙන් පස්වරු 6.45ට පැවැති මීටර් 1500 බාලිකා අවසන් තරගය සඳහා අදාළ ක්‍රීඩිකාවන් තරග කාර්යාලයට වාර්තා කළ යුතු වූයේ පස්වරු 6.10ට වුවත්, නිදුකි සහ අයේෂා ඒ සඳහා පැමිණ ඇත්තේ පස්වරු 6.20ට බව වාර්තා වේ. ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී තරගවලට අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමේ වගකීම බාරව පුහුණුකරුවන් තිදෙනකු එක්වී සිටි අතර, නිදුකි සහ අයේෂා 1500 අවසන් තරගය සඳහා නියමිත වේලාවට තරග කාර්යාලයට ඉදිරිපත් කිරීමේ වගකීම එම පුහුණුකරුවන් අතින් මඟහැරී යෑමෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් අහිමි වූ බවට ද විවිධ පාර්ශ්ව චෝදනා කරති.
‘මේ දරුවන් එතැනට ගිහින් තියෙන්නේ සවස 6.20ට. ඒ නිසා තරග කාර්යාලයට යන්න අවසර දීලා නෑ. 6.10ට තමයි තරග කාර්යාලයට වාර්තා කරන්න නියමිතව තිබුණේ. අවසන් නිවේදනය දුන්නා ද ? කාර්මික දෝෂයක් සිදුවුණා ද ? හරි තොරතුරු තවම දන්නේ නෑ. කොහොම වුණත් විශ්වාසය තිබූ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට අහිමි වුණා. මේ දරුවන් දෙන්නම ඉතා දුෂ්කර විදිහට පුහුණුව ලැබූ ක්‍රීඩිකාවන් දෙන්නෙක්. මෙහෙම වුණාම ඒ දරුවන්ට ක්‍රීඩාවත් එපා වෙනවනේ. මේ ගැන සොයා බලා කරුණු විමසන්න කියලා මම අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.‘ එම සංචාරයට එක් නොවූ නිදුකි ප්‍රාර්ථනාගේ පුහුණුකරු මධුර ප්‍රභාත් මහතා අදාළ පාර්ශ්වවලින් එසේ ඉල්ලීමක් කර තිබේ. නිදුකිගේ මෙන්ම අයේෂාගේ පුහුණුකරුවන් ද මේ සංචාරයට එක්නොවූ බව වැඩිදුරටත් වාර්තා වේ. මීටර් 1500 බාලිකා අවසන් තරගය ජයග්‍රහණය කරනු ලැබූ චීන ක්‍රීඩිකාවගේ තරග කාලය මිනිත්තු 4.58ක් වන අතර, නිදුකිගේ පෞද්ගලික හොඳම දක්ෂතාව මිනිත්තු 4.41ක් ද, අයේෂාගේ පෞද්ගලික හොඳම කාලය මිනිත්තු 4.43ක් ද වන බැවින් එම තරගයේදී ශ්‍රී ලංකාවට අවම වශයෙන් එක් පදක්කමක් හෝ ලබාගැනීමට අවස්ථාව තිබූ බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙති.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනකු සහභාගි වූ මේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස නුවන් ඇටිපොළ, අනුරුද්ධ නානායක්කාර සහ බුද්ධික නුවන් මහත්වරු කටයුතු කරන අතර, කළමනාකරු ලෙස එන්.ටී.එන්.ජයසිංහ මහතා සහ ක්‍රීඩිකාවන් බාර නිලධාරිනිය ලෙස ලක්නා වරාවිට සංචාරයට එක්වී සිටිති.
ෆවුස් මොහොමඩ්