ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇල්ලීම, සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය තහනම් කරන ලද තඹුවා මසුන් කිලෝ දොළහමාරක් (කිලෝ 12 ග්‍රෑම් 500ක් ) සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු සහ ඒවා ප්‍රවාහනය සඳහා යොදා ගත් කල්පිටිය බත්තලංගුණ්ඩුව භාණ්ඩ ප්‍රවාහන යාත්‍රාවක් පෙරේදා (15) දින සැන්දෑවේ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ කල්පිටිය කාර්යාලය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත භාර දී ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසූ විට ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“තඹුවා මත්ස්‍යා, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මඟින් සහ ශ්‍රී ලංකා ධීවර හා ජලජ සම්පත් පනත අනුවත් තහනම් කරන ලද මත්ස්‍යයෙක්. මෙම මත්ස්‍යයා ජලජ පරිසරය රැක ගැනීමට පරිසරයට උදව් කරන මත්ස්‍යෙක්. එසේම වඳවී යෑමේ තර්ජනයට ලක්ව සිටින මාලුවෙක්.
මෙම මාලු ඇල්ලීම තහනම් බව ධීවරයෝ හොඳටම දන්නවා. කල්පිටිය ජැටියේ දැන්වීම් පවා අලවලා, නිතර දැනුම්වත් කරනවා. කල්පිටියේ සංචාරක හෝටල්වල මේ මාලුන්ට ඉහළ වටිනාකමක් තියෙනවා. ආර්ථික වටිනාකම ඉහළ නිසා ධීවරයන් මේ මාලු හොරෙන් අල්ලලා විකුණනවා.”
අත් අඩංගුවට පත් සැකකරුවන් කල්පිටියේ පදිංචි 35, 40 අතර අය වෙති. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ පුත්තලම කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගේ අධීක්ෂණයෙන්, ධීවර නිලධාරී තාරක නදීශාන් මහතාගේ මෙහෙයවීමෙන් මෙම සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඊයේ (16) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතව තිබිණ.
කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා,
පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර