Home » සතර-සත් කෝරළවල ජනයා අලුත් අවුරුදු උදාවට සූදානම් වූ හැටි

සතර-සත් කෝරළවල ජනයා අලුත් අවුරුදු උදාවට සූදානම් වූ හැටි

by sachintha
April 17, 2025 1:58 am 0 comment

මාතලේ සතර කෝරළයටත්, කුරුණෑගල සත් කෝරළයටත්, ඉන් ඔබ්බට පුත්තලමේ සිට ත්‍රිකුණාමලය පසුකොට මඩකලපුව දක්වා දිවෙන වන්නි හත්පත්තුවටත් මැදි වූ බිම් තීරය නුවර කලාවියයි. නුවර වැවටත්, කලා වැවටත්, පදවිය වැවටත් මැදි වූ බිම් තීරය එමඟින් සලකුණු කළේය. ගොවිතැන සිය ප්‍රමුඛ ජීවනෝපාය කොට‍ෙගන දිවි ගෙවූ මෙහි ගැමියෝ නව අවුරුදු නැකත ඔවුනට ප්‍රීතිය, සෞභාග්‍ය ළඟා කර දෙන්නක් ලෙස සැලකුවේය. එහෙයින්ම ප්‍රීතිය සහ කෘතවේදීත්වය සංකේතවත් කරමින් ඔවුන් විවිධ ප්‍රජා සත්කාර නව අවුරුදු උදාවට මත්තෙන් සොබාදහම උදෙසා පැවැත්වීය.

‘බත් මාලා’ දීම ද සිංහල අලුත් අවුරුදු උදාවට මත්තෙන් මෙසේ නුවර කලාවියේ ගැමියන් විසින් ඉටුකරන ලද ඉතා වටිනා චාරිත්‍රයකි. වෙදකමට අධිපති දෙවියන් ලෙස සලකන කම්බිලි දෙවියන් උදෙසා පවත්වන පූජා සත්කාරයක් ලෙස මෙම බත් මාලා දීම සැලකිණි. ‘පොත්ගුල් රාජකාරිය’ ලෙසද මෙය හඳුන්වා ඇත. ලෙඩ, රෝග කරදර අරඹයා සිදු කළ භාර හාර ඔප්පු කිරීම සඳහා ඉටුකළ චාරිත්‍රයක් ලෙසද මෙම බත් මාලාව පවත්වා තිබේ. කම්බිලි දෙවියන් උදෙසා යහන් තබා මැදියම් රාත්‍රියේ සිට අලුයම දක්වා කෝල්මුර කවි ගයමින්, උඩැක්කි හඬවමින් ගැමියන් මෙම පූජා සත්කාරය පවත්වා ඇත. යහන මත පාරම්පරික වෙද ශාස්ත්‍රය ලියැවුණු පුස්කොළ පොත්, ඖෂධ ආදිය තබා ඒ සඳහා ආශීර්වාද ලබා ගැනීම එහිදී සිදු කර තිබේ. නුවර කලාවියේ ප්‍රකට සහ සම්මානනීය ජනශ්‍රැති පර්යේෂකයකු වන ‘කරගහවැවේ චන්ද්‍රකුමාර ජයසුන්දර’ මහතා ‘බත් මාලා’ දීම පිළිබඳව තවත් කරුණු පෙළක් අප හා කීවේය.

“ලෙඩදුක් මදුරු වසංගත දුරුවෙලා උදාවෙන නව වසර නිරෝගී සම්පන්න වේවා කියන ප්‍රාර්ථනාව මුල් කරගෙන තමයි මේ බත් මාලාව තියන්නේ. අනිත් වැදගත්ම දේ තමයි පාරම්පරික වෙද මහත්තුරු ඒ අය ළඟ තියෙන පුස්කොළ පොත්, තෙල් බෙහෙත් එහෙම යහනේ තියලා පේ කරනවා. ඒ අය මේ වැඩේ සැලකුවේ අවුරුද්දකට සැරයක් වෙදකමට අධිපති කම්බිලි දෙවියන්ට තියන පූජාවක් විදිහට. රෑ වෙනකල් යාතිකා කරලා, කෝල්මුර කවි කියලා පාන්දර ජාමෙට ගොටු තියලා බාර හාර ඔප්පු කරනවා. මේක අලුත් අවුරුද්ද ලබන්න කලින් නුවර කලාවියේ උදවිය ඉටු කරපු ඉතාම වටිනාම චාරිත්‍රයක්.”

‘පට්ටියේ කිරි ඉතිරීම’ ද මෙම කලාපයේ ගැමියෝ අතීතයේ ඉටු කළ තවත් වටිනා චාරිත්‍රයකි. සිය ගොවිතැන් කටයුතු සඳහා සෑම අතකින්ම මහෝපකාරී වූ ගවයන්ට අධිපති වූ දෙවියන් සේ ගැමියන් ඇදහූ ගොපලු කඩවර දෙවියන් උදෙසා මෙම කිරි ඉතිරීම සිදු කළේය. අලුයම් කාලයේ හිරු එන්නට මත්තෙන් ගොවි ගෙදර ගව ගාලේ දොරටුව අබියස ගැමියෝ මෙම කිරි ඉතිරීම සිදුකොට ඇත. කඩවර දෙවියන් උදෙසා ගොටු දී, මල් තබා, පහන් දල්වා දොවා ගත් එළකිරි ඇසුරින් මෙම කිරි ඉතිරීම සිදු කර තිබේ. සිය ජීවනෝපාය සඳහා සහාය වන ගවයන්ට අම්මා, අප්පා සේ ඇමතූ ගැමියෝ ඉදිරි වසරේ ද කිසිදු අතුරු ආන්තරාවකින් තොරව ඔවුන් රැකදෙන ලෙස දෙවියන් වෙතින් ඉල්ලමින් මෙම චාරිත්‍රය ඉටුකොට ඇත. නුවර කලාවියේ ප්‍රකට සහ ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂකයෙක් වන ‘මාමිණියාවේ ඉලංගසිංහ’ මහතා මේ සිරිත් සම්මත චාරිත්‍රය පිළිබඳව හෙළි කළේ මෙවැනි කරුණු පෙළකි.

“අපේ පැරැන්නෝ හරකට කිවුවේ මගේ වහු දරුවෝ කියලා. ඒ තරම් බැඳීමක්, ආදරයක් මේ සත්තු ගැන ඒ අය තුළ තිබුණා. කොටින්ම ගම්වල අය ගෙදර ඉන්න සත්තු සැලකුවේ ගෙදරම සාමාජිකයෝ විදිහට. මට මතකයි සමහර ගං ගෙවල්වල වැස්සියක් ගැබ්බර වුණාම උඩමළුවට බාර වෙනවා. කරදරයක් නැතිව දරු ගැබ නිදහස් කරලා දෙන්ඩ කියලා. අපේ ගැමියෝ කොල්ලා, බල්ලා, බළලා, කුකුළා, ගවයා කියන පස්ගොල්ලට තමයි පැටිපස් පරානේ කියලා කිවුවේ. ඔය අතරින් ගවයා හරිම විශේෂයි. මොකද ඒ කාලේ හරකා නැතිව ගොවිතැන් කරන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. පොළොව හා ගන්න එකේ ඉඳන් අවසානේ කමතෙන් ගෙදරට වී ටික ඇදගන්නකම්ම හරකා ඕනෑ වුණා. ඉතින් ඔන්න ඔය සත්තු රැකලා දෙන්න කියලා තමයි අලුත් අවුරුද්ද ලබන්න කලින් මහ පාන්දර කිරි උතුරලා දෙවියන්ට බාරහාර ඔප්පු කරන්නේ.”

අතීතයේදී මහ කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ මුල් කොටස සහල් ලෙස සකසා බුදුන්, දෙවියන් උදෙසා පූජා කිරීම ද නව අවුරුදු උදාවට මත්තෙන් ඉටුකොට ඇති ඉතා වටිනා චාරිත්‍රයකි. ගමේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුකොට තිබේ. ඒ කන්නය සාර්ථක කර ගැනීම උදෙසා සොබාදහමෙන් ලද ආශීර්වාදයට කෘතුගුණ දැක්වීම උදෙසාය. අනතුරුව නැවුම් සහලින් පිසගත් දානය මහා සංඝරත්නය සහ ගම්භාර දෙවියන් උදෙසා පූජා කොට තිබේ. මෙසේ පිසගන්නා දානය ගැමියෝ අතර බෙදා හදා ගැනීම ද එවක පැවැති සිරිත් සම්මතයකි.

වර්තමානයේ ද රජරට නුවර කලාවියේ ඈත ගම්මැදිවල ගොවි ජනතාව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා මේ අන්දමින් සිය අස්වැන්නේ නැවුම් සහල් පූජා කිරීම සිරිතක් කොටගෙන සිටී. මේ කලාපයේ පාරම්පරික වතාවත් පිළිබඳ මනා අවබෝධයෙන් යුතු ජනශ්‍රැති පර්යේෂකයකු වන ‘සෝමරත්න උල්පතගම’ මහතා මෙම චාරිත්‍රය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

“ඒ කාලේ ගෙට අරගෙන ආපු අස්වැන්න ඉඳුල් නොකර බුදුන්ට, දෙවියන්ට කමතෙන්ම වෙන් කරපු කොටස සහල් විදිහට හදාගෙන උඩමළුවට අරගෙන යනවා. දැන් වගේ ඒක ඒ කාලේ උත්සව තියලා කරපු වැඩක් නෙමෙයි. තමන්ට පුළුවන් විදිහට තනි තතියම කිරි ආහාර හදාගෙන, නොඉඳුල් හාලුත් එක්ක උඩමළුවට පූජා කරන්න යනවා. මේ ගමන ගිහිල්ලා තියෙන්නේ කරත්තෙන්. සමහරු පයින්ම ගිහිල්ලා තියෙනවා. ගමේ පන්සලේ තමයි අලුත් සහල් මංගල්‍යය පවත්තලා තියෙන්නේ. ඒක ඒ කාලේ මුළු ගමම සමගි කරපු වැඩක්. කාත් එක්ක හරි මොනව හරි අමනාපයක් තිබ්බ නම් ඒ හැමදේම අමතක කරලා හැමෝම එකම පාත්තරේකට හාල් එකතු කරනවා. මේ හැමදේටම පස්සේ තමයි වී බිස්සට වී දැම්මේ. ඒකට කිවුවේ බිස්ස ඉඳුල් කරනවා කියලා. ඒ කාලේ මේවා සිරිත් විතරක් නෙමෙයි ලොකු අර්ථයකින් කරපු දේවල්.”

තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT