Saturday, April 19, 2025
Home » කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට පැන තරුණියකගේ දිවි බේරාගත් කොස්තාපල්

කටුගස්තොට පාලමෙන් මහවැලි ගඟට පැන තරුණියකගේ දිවි බේරාගත් කොස්තාපල්

by sachintha
April 17, 2025 1:44 am 0 comment

කටුගස්තොට නගරයේ පැවති අධික රථවාහන තදබදය අවම කිරීමට කටුගස්තොට පොලීසියේ රථවාහන අංශය විසින් ස්ථාන කිහිපයක පොලිස් නිලධාරින් යොදවා තිබුණේය. ඒ පසුගිය 10 වැනිදා දහවල් කාලයේදීය. පොලිස් කොස්තාපල් (103984) නිලුපුල් හේරත් නිලධාරියා ද රාජකාරියේ නිරතව සිටියේ ගොහාගොඩ හන්දියේය. දහවල් 2.30ට පමණ ඔහු සිටි ස්ථානයට උප පොලිස් පරීක්ෂක උදයකුමාර මහතා පැමිණීමෙන් පසු ඔහුගෙන් අවසර ගත් නිලුපුල් පාලම් හන්දියේ පිහිටි පොලිස් මුරපොළට ගියේ වතුර ටිකක් බීමේ අදහසිනි. ඔහු මුරපොළට යනවාත් සමඟම යකඩ පාලම දෙසින් තරුණයෝ පිරිසක් ‘‘ගඟේ කෙල්ලෙක් ගහගෙන යනවා” යැයි කෑගසමින් දිව එනු දුටුවේය.

ඉන්පසු සිදුවූ දේ පිළිබඳව අප හා අදහස් පළ කළේ නිලුපුල් හේරත්ය.

Òමම යකඩ පාලම ළඟට දිව්වා. පාලම උඩ විශාල පිරිසක් හිටියා. ඒ හරියෙන් ගඟට බහින්න බැහැ. දිගටම දැල් ආවරණයක් දාලා තියෙන්නේ. පස්සේ මම පාලම මැදට ගිහින් යකඩ බාල්කයකට ගොඩවෙලා පාලමේ පදික වේදිකාවට බැස්සා. ඒ වෙලාවේ මම දැක්කා පාලමට පහළින් කෙනෙක් දියේ ගිලෙමින් සිටිනවා. මම බූට් දෙකයි යුනිෆෝම් ෂර්ට් එක ගලවලා දාලා පදික වේදිකාවෙන් පාලම් ඇන්දට ගොඩවී අඩි පනහකටත් වැඩිය උස පාලමෙන් ගඟට පැන්නා. ඒ වෙලාවේ ගඟේ වතුර පාරත් හොඳටම සැරයි. මම අඩි 20ක් 30ක් පහළට පිහිනලා දියේ ගිලෙමින් සිටි කාන්තාව ළඟට ගියා. ඒ කාන්තාව එකපාරටම මගේ ඇඟේ එල්ලුනා. පස්සේ මම කෑගහල කිවුවා ඇඟේ එල්ලෙන්න එපා කියල. එහෙම කියල මම ඒ කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ගං ඉවුරට පිහිනුවා.

ඒ වෙලාවේ අපේ රථවාහන අංශයේ සේවය කරන පො.කො. (89997) රාජපක්ෂයි පො.කො. (104064) රවිඳුයි එතෙන්ට ඇවිල්ලා හිටියා. මම කාන්තාව ගං ඉවුරට අරන් එන විට එයාට සිහිය තිබුණේ නැහැ. පස්සේ රාජපක්ෂයි, රවිඳුයි දෙන්නා එයාට ප්‍රථමාධාර දුන්නා. ඒ වෙලාවේ කාන්තාවගේ නහයෙන් කටින් වතුරයි සෙමයි ආවා. පස්සේ සිහියත් ආවා. අපේ පො.සැ.(29366) විජිත සාජන් මහත්තයා ත්‍රීවීල් එකක දාගෙන එම කාන්තාව කටුගස්තොට රෝහලට අරන් ගියා. ඇත්තටම මම එදා ඒ විදිහට ක්‍රියා නොකළානම් අසරණ ජීවිතයක් මහවැලි ගඟට බිලිවෙනවාÓ තමන් කළ ඒ වීර ක්‍රියාව ගැන සිනාමුසු මුහුණින් යුතුව අදහස් පළ කළ හේරත් වැඩිදුරටත් පවසා සිටියේ තමන් විසින් මීට පෙරත් කටුගස්තොට පාලම් හන්දියේ රාජකාරි කරමින් සිටියදි ගඟට පනින්න ගිය තරුණියක් බේරාගත් බවයි. එම තරුණිය හඬමින් ගඟ දෙසට යනවා දුටු හේරත් ඇය අසලට ගොස් ඇයට සුහදශීලීව කතාකර පොලිස් මුරපොළට කැඳවාගෙන ගොස් ඇගේ දුරකතනයෙන් මවුපියන් කතාකර ඔවුන් ගෙන්වාගෙන ඇයව ඇගේ මවුපියන් භාර දීමට පියවර ගෙන තිබේ.

දෙහිඅත්තකණ්ඩියේ, නව මැදගම, හෙනානිගල දකුණ ගමේ ජීවත් වූ තමන් කුඩා කාලයේ පටන් වැව්වල දියනෑම නිසා පිහිනීමට හුරුවූ බව ඔහු පවසා සිටියේය. 2022 මාර්තු මාසේ 10 වැනිදා පොලිස් සේවයට එක්වී ඇති නිලුපුල් මහියංගණය මාපාකඩවැව පොලිස් විද්‍යාලයෙන් පුහුණුව ලබා පුහුණුව අවසානයේ කටුගස්තොට පොලීසියේ රථවාහන අංශයේ රාජකාරියට පැමිණි බවද අප සමඟ පවසා සිටියේය.

නිලුපුල් හේරත්ට මේ වන ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදීම උපහාර උත්සව පවත්වා ඔහු කළ මෙම වීර ක්‍රියාව ඇගයීමට ලක්කර තිබිණි.

කටුගස්තොට සමූහඑස්.ජී. විජේරත්න,

දෙහිඅත්තකණ්ඩිය සමූහ සම්පත් රණතුංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT