Home » ජීවිත ආරක්ෂාවට රෑ දවල් නොබලා වැඩ කළත් දවසේ පඩිය 250යි

ජීවිත ආරක්ෂාවට රෑ දවල් නොබලා වැඩ කළත් දවසේ පඩිය 250යි

-දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවෝ දුක කියති

by sachintha
April 17, 2025 1:35 am 0 comment

දුම්රිය හරස් මාර්ගවල සිදුවිය හැකි අනතුරු වළක්වාලීම උදෙසා දිවා රෑ නොබලා වැඩ කරන දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන් වන තමන්ට මේ වනතුරුත් ලැබෙන්නේ මසකට රුපියල් 7500ක පමණ වූ සොච්චම් වැටුපක් බවත් ජීවිත දහස් ගණනක ආරක්ෂාව උදෙසා ඉතා භාරදූර වගකීමක් ඇති සේවයක නිරත වන තමනට වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වය අනුව දවසකට රුපියල් 250 ක් වැනි වැටුපක් ලබාදීම සාධාරණද යන්න වගකිවයුතු බලධාරින් කාරුණිකව සලකා බැලිය යුතු බවත් බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ හාලිඇළ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවෝ පවසති.

මෙතෙක් ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම දුම්රිය – බස් අනතුර ලෙස සැලකෙන වර්ෂ 1989 ජනවාරි 17 වැනි දින සිදුවූ අහුන්ගල්ල දුම්රිය – බස් අනතුරෙන් පාසල් දරුවෝ ඇතුළු 40 දෙනෙකු පමණ මියයාමත් සමඟ එවකට ජනාධිපතිවරයා වූ ආර්. ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත ලංකාවේ සියලු දුම්රිය හරස් මාර්ගයන්ට උණ බම්බු ගේට්ටු යොදා ඒවායෙහි ගේට්ටුකරුවන් ලෙස රුපියල් 1000.00ක මාසික වැටුපකට ජනසවිලාභීන් පත් කිරීමෙන් මෙම දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ සේවය ආරම්භ වූ අතර ඉන් වසර 40 කට ආසන්න කලක් ගතවුවද වැටුප හැර වෙනත් දීමනා වරප්‍රසාද කිසිවක් නොලබන දුම්රිය හරස් මාර්ග ගේට්ටු කරුවන් විශාල පිරිසකගේ සේවය ස්ථිර කිරීමට නියමිත කාලයේ අදාළ රජයන් කටයුතු නොකිරීම නිසා තම හෙට දවස ගැන විශ්වාසයකින් තොරව අද දවස ජීවත් වීම උදෙසා පමණක් සුළු මුදලක් උපයමින් ජීවත් වන බවත් පවසන, ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ඉතා වගකීම් සහගත රැකියාවක් වන බැවින් ඒ වෙනුවෙන් ලැබෙන වැටුප කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

ඒ.එම්. ජිනදාස මහතා: “මම දැන් අවුරුදු 40කට කිට්ටු කාලයක් මේ රස්සාව කරනවා. දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන් ලෙස අපි සේවයට බැඳුණේ 1989 දී. ඒ කාලෙ පඩිය මාසෙකට රුපියල් දාහයි. ටික කාලෙකට පස්සේ අපිව සිවිල් ආරක්ෂක කමිටු යටතට පත්කළා. හැබැයි අපේ සේවය ස්ථිර කරන්න සුදුසු වයසේ ඉඳිද්දී ස්ථිර කළේ නෑ. බඳවාගත්ත අයගෙන් කොටසක් විතරයි ස්ථිර කළේ. දැන් අපි වයස වැඩි නිසා ස්ථිර කරන්නත් බෑ. මේ වන විට අවුරුදු 40 කට කිට්ටු කාලයක් සේවය කළත් අදටත් අපට මාසෙකට ලැබෙන්නේ රුපියල් 7500 යි. ඒ කියන්නේ දවසට රුපියල් 250 යි. ඒ කාලෙ රුපියල් 1000 පඩියට බඳවාගත්ත ගුරුවරුන්ගේ අද පඩිය කීයද? ඒ අයට තියෙන වියදම් අපිටත් ඒ විදිහටම තියෙනවා. එදා ඉඳලා මේ වන විට බඩු මිල කී ගුණයකින් වැඩි වෙලාද. මේ ගැන අදාළ බලධාරීන්ට කීවත් වැඩක් වුණේ නෑ. ඒ නිසා අපි ඉල්ලන්නේ අද කාලෙ හැටියට ජීවත් වෙන්න සුදුසු වැටුපක්වත් දෙන්න කියලයි.”

අනෝමා ලසන්ති මහත්මිය: මම දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවෙක් ලෙස බැඳිලා දැන් අවුරුදු 11ක් වෙනවා. ඒත් ලැබෙන්නේ 7500ක වැටුපක් විතරයි. වෙනත් දීමනා විශ්‍රාම වැටුප් කිසිදෙයක් නෑ. ලැබෙන වැටුප ජීවත් වෙන්න කිසිසේත් ප්‍රමාණවත් නෑ. එක් ගේට්ටුවකට ගේට්ටුකරුවන් තිදෙනෙක් බැගින් පත්කර එක් අයෙකුට පැය අටක සේවා මුරයක් බැගින් ලබාදී තිබෙනවා. සමහර ගේට්ටුවල අය තමන්ගේ පහසුවට දින තුනකට එකක් වශයෙන් මාසයට දින දහයක් බැගින් බෙදාගෙන වැඩ කරනවා. ඒත් එහෙම වැඩ කළත් වෙන රැකියාවල වගේ පැය අටක් වැඩ කරලා ඕෆ් වෙලා යන්න බෑ. තමන්ගෙ වේලාව ඉවර වුණත් දවසේ දුම්රිය ධාවනය වන වේලාව ඉවර වුණත් හදිසියේ දුම්රියක් පැය ගණනක් හරි ප්‍රමාද වුණත් රෑ දවල් අව්ව වැස්ස කියලා බලන්න බෑ දුම්රිය යනකල් ඉන්නම ඕනෑ. දැන් ධාවනය වන දුම්රිය ගණනත් වාර ගණනත් වැඩියි. ඒ නිසාම වගකීමත් වැඩියි. ඒ නිසා අද කාලේ වියදම්වල හැටියට අපගේ වැටුප් වැඩිවීමක් කර සුදුසු අයගේ සේවය ස්ථිර කරන්න පියවර ගන්න කියා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

ටී.එම්. ගුණපාල මහතා: “අපි රෑ දවල් අව්ව වැස්ස නොබලා මේ රේල් ගේට්ටුවල වැඩකළත් අපට කිසි පහසුකමක් නෑ. අඩුගාණේ අපට රතු ලාම්පුවක්, කොළ ලාම්පුවක් තබා කොළ කොඩියක්වත් ලබාදීල නෑ. මම වැඩකරන උඩුවර හයේ කණුවේ දුම්රිය හරස් පාරේ එක ගේට්ටුවක් කැඩිලා දැන් මාස හතක් විතර වෙනවා. ඒක අරින්න වහන්න බෑ. අනෙක් ගේට්ටුවත් අබලන්. ඒව හදා දෙන්නෙත් නෑ. හැබැයි උඩ පැත්තෙන් එන වාහනයක් නවත්තගන්න බැරිව අනතුරක් වුණොත් වරද එන්නෙත් අපටමයි. ඒ නිසා අපට ප්‍රමාණවත් වැටුපක් වගේම මේ අඩුපාඩු ගැන සොයා බලා මේවා නිවැරදි කරදීලා දෙන්නත් කටයුතු කරන්න කියලයි අපි ඉල්ලන්නේ. ”

ඒ.එම්. පොඩි මහත්මයා මහතා: “දැන් තරුණ ළමයි මේ රස්සාවට එන්නේ නෑ. මොකද මේ ගේට්ටු රස්සාවේ පඩිය මදි. අපි වයසක අය වුණත් මේ ගේට්ටු ළඟ ඉඳගෙන මේක හරියට කරනවා. ඒත් මේකෙන් ලැබෙන පඩිය අපට බෙහෙත් ටිකක් ගන්නවත් මදි. ඒත් ජීවිත දහස් ගණනක් ආරක්ෂා කරන රාජකාරියක් අපි කරන්නේ. පඩියක් හරියට නුදුන්නාට අපේ සුළු අත්වැරද්දකින් විශාල විපතක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනෙක් අයගේ ජීවිත ආරක්ෂා කරනවා වගේම අපටත් ජීවත්වෙන්න පුළුවන් තරමට වැටුපක් සහ රාජකාරියට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගන්න කියලයි.”

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT