Saturday, April 19, 2025
Home » යල මහ කන්නයේ වැඩ කරන්න වෙලන්ගොල්ල වැව පිළිසකර කර දෙන්න ගොවීහු ඉල්ලති

යල මහ කන්නයේ වැඩ කරන්න වෙලන්ගොල්ල වැව පිළිසකර කර දෙන්න ගොවීහු ඉල්ලති

by sachintha
April 17, 2025 1:32 am 0 comment

මාඑළිය රඹේ ගොවිජන සේවා බලප්‍රදේශය තුළ පිහිටා තිබෙන වසර 100කට වඩා ඉපැරණි අඹවත්තයාය, වෙලන්ගොල්ල වැව දිගු කලකින් පිළිසකර නොකිරීම නිසා වැව යටතේ වගා කරන කුඹුරු පුරන්ව ගොස් ඇතැයි ගොවීහු පවසති.

මේනිසා වැවේ තාවුල්ලට අයත් කොටස සම්පූර්ණයෙන්ම පාහේ යාබද පෞද්ගලික ඉඩම් හිමියන් අත්පත්කරගෙන ඇති නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද ඔවුහු පවසති.

වැවේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ පී.ආර්. රත්නායක ගොවි මහතා මෙසේ පවසා සිටියේය.

‘‘මේ වැව අපේ අත්තා, මුත්තා කාලේ සිට තිබුණ වැවක්. යල – මහ හොඳට කුඹුරු වැඩ කළා. පවුල් 35ක් කුඹුරු වගා කළා. දැන් වැව කැලයෙන් යටවෙලා. ගොඩවෙලා. වැව් තාවුල්ලේ ඇතැම් අය ගොවිතැන් කරලා. වැව දැන් වේල්ලක් වාගෙයි. එක් වතාවක් වැවට මුදල් පාස්වෙලා කියලා කොන්ත්‍රාත්කාරයෙක් වැව හාරලා මඩකරලා ඒ පස් ටික තල්ලු කරලා මුදල් ටික ගත්තා. වැව තිබුණ විදිහටම තියෙනවා. වැව සංවර්ධනය කරන්න කියලා ඉල්ලීම් කළා. වැව මැනලා වෙන්කරලා ගොවීන්ට දෙන්න කියලා අදාළ අංශවලට කිව්වා. ඒවාට අද වෙනකම් පිළිතුරක් නෑ. නිලධාරීන්ට ඒකේ වගක් නෑ. ගොවි දරු පවුල් දුක් විඳිනවා. මේ කන්නයේ මුළු කුඹුරුයායම පුරන්වෙලා ගියා. වැවේ මායිම් වෙන්කරලා, නිරවුල් කර, වැව හාරලා පිළිසකර කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.”

එස්.ඒ. ඇන්ටනි ගොවි මහතා: ‘‘වැව ඉස්මත්තේ මමත් කුඹුරක් වැඩ කරනවා. වැව මැනලා නිරවුල් කරනවානම් ඒ කොටස මං දෙන්න සූදානම්. වැව හැදෙනවානම් ගොවි පවුල් 35කට යල-මහ දෙකන්නය සාර්ථකව ගොවිතැන් කරන්න පුළුවන්. කවුද ඒකට අකැමැති වෙන්නේ.

නම හෙළිකිරීමට අකැමැති අවුරුදු 76 වයසැති ගොවි මහතෙක් මෙසේ පැවසීය.‘‘ඉස්සර යල – මහ දෙකන්න දෙකම කුඹුරු වැඩකරලා හොඳ අස්වැන්නක් ගත්තා. දැන් මගේ දරුවෝ තමයි මේ කුඹුර වැඩ කරන්නේ. දැන් මාස් කන්නය විතරයි වැඩ කරන්නේ, වතුර නැති නිසා. තියෙන වතුර ටික හරවන කාලෙට හරියට රණ්ඩු සරුවල්වෙනවා. වැවේ වල් කැලෑ හැදිලා. වැව ගොඩවෙලා. අනෙක් අතින් වැවේ තාවුල්ල, අසල්වැසි ඉඩම්කාරයෝ අල්ලාගෙන දෙන්නේ නෑ. මට මතකයි වැව හාරන්න කියලා කොන්ත්‍රාත්කාරයෙක් ඇවිල්ලා, වැව හාරලා මඩ කොරලා පස් ටික තාවුල්ල දිහාට තල්ලු කරලා සල්ලි ගත්තා. ලක්ෂ 10ක් පාස් වුණා කියලයි ආරංචි වුණේ. ඒ වුණාට ලක්ෂ දෙකකවත් වැඩ කෙරුවේ නැහැ. වැව තිබුණ විදිහටත් වඩා දැන් කුඩා වෙලා. වේල්ලක් වාගේ තමයි පේන්නේ. මේ ප්‍රශ්නවලට උත්තර හොයලා දුන්නොත් ඉස්සරහටවත් හොඳ වී අස්වැන්නක් ගොවියෝ ලබා ගනියි.”

ඉබ්බාගමුව විශේෂ චන්ද්‍රතිලක රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT