මහා පරිමාණයේ නිවාස ඉදිකිරීම් සේවා ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් දිවයින පුරා පිහිටි ඉදිකිරීම් උපාංග කුලියට ලබා දෙන ස්ථානවලින් එම උපකරණ ලබාගෙන එම දේපොළ වංචා කිරීමේ යෙදී සිටි බව කියන පුද්ගලයකු රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් ඇති ඉදිකිරීම් උපකරණ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොටදෙණියාව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙකු බව කියන ගල්නෑව හෙලබොදුගම පදිංචිකරුවෙකු වන දෙදරු පියෙකි.
කොටදෙණියාවේ ඉදිකිරීම් උපකරණ කුලියට දෙන ස්ථානයකින් ලබාගත් උපකරණ වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව ලත් පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වීමේ දී මෙම සැකකරු දිවයින පුරා ස්ථාන ගණනාවකින් මේ ආකාරයට දේපොළ වංචා කර ඇතැයි අනාවරණය වී ඇත. මේ අන්දමට වංචා කර ඇති දේපොළ වටිනාකම රුපියල් කෝටි හත අටකටත් වැඩිවනු ඇතැයි පොලීසිය සැක කරයි.
සැකකරු කලක් තිස්සේ මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය ලැබූ ඉංජිනේරුවකු හා එක්ව මේ අන්දමට දේපොළ වංචා කිරීමේ යෙදී ඇතැයිද පසුව ඉංජිනේරුවා අතහැර සැකකරු තනිවම මේ කටයුතුවල යෙදී ඇතැයිද හෙළිවී ඇත.
බත්තරමුල්ල, කලපළුවාව, කිරිවත්තුඩුව, දෙහිවල, දිවුලපිටිය ආදී පෙදෙස්වලින්ද සැකකරු මේ අකාරයට දේපොළ ලබාගෙන වංචා කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. මෙසේ කුලියට ලබා ගන්නා උපකරණ සඳහා ඒ අවස්ථාවේදීම චෙක්පත්වලින් ගනුදෙනු පියවා ඇතැයි ද එම චෙක්පත් අගරුවී ඇති බව හෙළිවනවිට සැකකරු ඒ ඒ පෙදෙස්වලින් පලාගොස් සිට ඇතැයි ද හෙළිවී ඇත.
තමන්ගේ ඉදිකිරීම් ආයතනය හොරණ පවත්වාගෙන යන බවට සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කර උපකරණ කුලියට ලබාගෙන වෙනත් ස්ථානවලට ගොස් තමන්ගේ ව්‍යාපාරික ආයතනය කඩා වැටී ඇති හෙයින් ඉදිකිරීම් උපකරණ විකුණන බව කියා එම දේපොළ අඩු මුදලට විකිණීම සැකකරුගේ සිරිතවී ඇතැයි පොලීසිය පවසයි. රුපියල් 7500.00ක් පමණ වන ජැක් එකක් රුපියල් 2500.00 බැගින් විකුණා ඇතැයි හෙළිවී ඇත. ව්‍යාපාරික ආයතනයේ ශාඛාවන් මිනුවන්ගොඩ හා වැලිමඩ පවත්වාගෙන යන බවටද සැකකරු පවසා ඇතැයි පීඩාවට පත්වූ ව්‍යාපාරිකයෝ පොලිසියේදී සඳහන් කළහ.
සැකකරු උපකරණ කුලියට ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයන්ගේ හැඳුනුම්පත් උපයෝගී කරගෙන බව පොලීසිය පවසයි. සැකකරු බිරියගෙන් වෙන්වී වසර දහයක් පමණ වන බව ද ඒ අතර විවිධ ස්ථානවල අනියම් බිරියන් දස දෙනෙකු පමණ ඇසුරු කර ඇතැයි ද හෙළිවී ඇත. විවාහක බිරියගේ එක් දරුවකු ද මෙම වංචා කිරීම් සඳහා සහභාගිකර ගෙන ඇතැයි හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවක කාන්තාවක ද යට කරගෙන මෝටර් රියෙන් පලාගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු මෙන්ම ඔහු ඇත්ත වශයෙන්ම පොලීසියේ සේවය කර ඇත්දැයි හෙළි කර ගැනීමට ද පරීක්ෂණ පැවැත්වෙයි.
කොටදෙණියාව පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර