රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ ඇති E – ජනගහන වැඩසටහන යටතේ ඩිජිටල් ක්‍රමයට උප්පැන්න සහතික නිකුත් කිරීමේ සමාරම්භක වැඩසටහන මාතර දිසත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනි දින මාතර, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී මාතර, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපන් දරු දැරියන් වෙත සංකේතාත්මකව ඩිජිටල් උප්පැන්න සහතිකය ප්‍රදානය කිරීම සිදු කෙරිණ. 2021 වසරේ ජනවාරි මස 1 වැනිදා සිට උපන් දරුවන්ට පළමු අදියරේදී උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙම සහතිකයේ පළමු පිටපත නොමිලයේ නිකුත් කෙරේ. මෙම ඩිජිටල් ජාතික උප්පැන්න සහතිකය සාම්ප්‍රදායික කඩදාසි සහතිකයට වඩා නවීන, සුරක්ෂිත ලේඛනයකි. මකා වෙනස් කළ නොහැකි ලෙස තොරතුරු දත්ත පද්ධතියේ ගබඩා වීම මඟින් ව්‍යාජ ලේඛන සකස් කිරීම අවම වේ. එමෙන්ම විදේශ ගමන් හා නීතිමය කටයුතු සඳහා ජාත්‍යන්තරමය වශයෙන් භාවිතයට වඩාත් සුදුසු වන අතර, සිංහල හා ඉංග්‍රීසි හෝ දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා මඟින් සහතිකය ලබා ගැනීමට හැකි වීම තුළින් උප්පැන්න සහතික වෙනම පරිවර්තනයන් සිදු කිරීමට අවශ්‍ය නොවේ. තවද උප්පැන්න සහතිකයේ කවර හෝ සංශෝධනයක් සිදු කළ විට එම තොරතුරු දත්ත පද්ධතියේ යාවත්කාලීන වේ.
මෙම ඩිජිටල් ජාතික උප්පැන්නය රජයේ අනෙකුත් ආයතන සමඟ විශේෂයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යංශය වැනි ආයතන සමඟ තොරතුරු හුවමාරු කරගත හැකි ලෙස මනාව සම්බන්ධ කර ඇත.
උප්පැන්න සහතික ලබා ගැනීම සඳහා මෙම අවස්ථාවට පැමිණි දරු දැරියන් හා මවුපියන්, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල, මාතර කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්, මාතර, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
අකුරැස්ස මධ්‍යම විශේෂ – විජිත සල්ගාදු