ලංකාවේ විශාලතම අලුත් අවුරුදු කිරිබත සකස් කිරීම සිංහල හා දෙමළ අලුත් අවුරුදු දා (14) සුබ මොහොතින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන්ගේ දෑතින් සිදු කෙරිණි.
වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි රැඳවූවන් 50කට අධික පිරිසකගේ දායකත්වයෙන් එදින අලුයම සකස් කළ මෙම අවුරුදු කිරිබතට කැකුළු සහල් කිලෝ 400ක් හා පොල් ගෙඩි 705ක් යොදාගෙන තිබිණි. කිරිබත සඳහා රසවත් ලුණුමිරිසක් ද රැඳවූවන් අතින් සකස් කෙරුණු අතර, ඒ සඳහා බී ලූණු කිලෝ 60ක්, වියළි මිරිස් කිලෝ 12ක්, අමුමිරිස් කිලෝ 7ක්, තක්කාලි සහ දෙහි කිලෝ 10 බැගින්, දියලුණු කිලෝ 30ක් යොදා ගැනිණි.
මෙම කිරිබත වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි සහ කාන්තා අංශයේ සිටින රැඳවූවන් 3,300කට ආසන්න පිරිසකට අවුරුදු දා රසවිඳීමට හැකි වූ අතර එක් අයකුට හිමි වූ කිරිබත් කැටයක ප්‍රමාණය ග්‍රෑම් 225කි.
අලුත් අවුරුදු දා (14) මෙරට සියලුම බන්ධනාගාරවල අවුරුදු කිරිබතක් රැඳවූවන් 30,000කට ආසන්න ප්‍රමාණයක් සඳහා පිළියෙල වූ අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවැසුවේ, 30,000ක් පමණ රැඳවූවන් විශාල පිරිසක් එකම කාල පරාසයක් තුළදී අවුරුදු කිරිබතක රස බැලීම විශේෂත්වයක් බවයි. අවුරුදු කිරිබතක් පිළියෙල කිරීම මෙන්ම රැඳවූවන් වෙනුවෙන් අවුරුදු චාරිත්‍ර බන්ධනාගාර තුළ ඉටු කිරීමත් ඒ ඒ බන්ධනාගාරයන් තුළදී අවුරුදු දා සිදු වූ බවත්, ඊයේ (16ට) යෙදුණු හිසතෙල් ගෑමේ චාරිත්‍රය ද රැඳවූවන් වෙනුවෙන් ඒ ඒ බන්ධනාගාරවලදී ඉටු කළ බවත් දිසානායක මහතා පැවසීය.
බුද්ධිකා ඉඹුලාන