කිරිබත්ගොඩ පැරණි පොදු වෙළෙඳ සංකීර්ණයේ ඉදිකර ඇති ඇතැම් පැරණි ගොඩනැඟිලිවල බිත්ති බොල් වී පුපුරා අබලන් තත්ත්වයෙන් පැවැතීම හේතුවෙන් මෙම භූමියට පැමිණෙන වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව විවිධ ගැටලුවලට මුහුණපා සිටිති.
මේ වනවිට මෙම ස්ථානයට පානීය ජලය සපයන ජල කරාම ආශ්‍රිත ස්ථානවල දැඩි ලෙස දියසෙවල බැඳී අපවිත්‍රව පවතියි. මේ හේතුවෙන් මෙම ස්ථානයට පැමිණෙන වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටිති. මේ වනවිට මෙහි සමහර කානු පද්ධති අවහිරවීම හේතුවෙන් ප්‍රදේශයේ මැසි මදුරුවන් බෝ වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ද එහි වෙළෙන්දෝ පෙන්වා දෙති. තවද මෙම ස්ථානයේ වෙළෙඳුන්ට පානීය ජලය ලබා ගැනීමේ අරමුණින් ඉදි කර ඇති ඉපැරණි ජල ටැංකිය ද දැඩි ලෙස අබලන් තත්ත්වයෙන් පවතින බව ඔවුහු පවසති. කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය පිහිටි භූමියට ප්‍රදේශයේ විවිධ පුද්ගලයන් විසින් කැළිකසළ බැහැර කිරීම හේතුවෙන් ප්‍රදේශය අපවිත්‍රව දැඩි දුඟදක් හමන බව එහි ගිය අපට ද දැන ගැනීමට හැකි විය.
මෙම භූමියේ සමහර වෙළෙඳුන් තහඩු, ඉටි රෙදි සහ දැව කොටස් යොදාගෙන තාවකාලිකව අනවසර වෙළෙඳසල් ඉදි කර ඇති බැවින් මෙම ස්ථානයෙන් ගමන් ගන්නා පාරිභෝගික ජනතාව එම අනවසර වෙළෙඳසල් හේතුවෙන් විවිධ අවහිරතාවලට පත්වන බව ඔවුහු පවසති. කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් වන අතර, මෙම ස්ථානයේ පවතින ගැටලු සහ අඩුපාඩු පිළිබඳව ජනතාව අදාළ අංශ දැනුම්වත් කළත් මේ වනතෙක් ඒවාට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බවට ජනතාව මැසිවිලි නඟති. ඒ අනුව කිරිබත්ගොඩ පැරණි පොදු වෙළෙඳ සංකීර්ණයේ පවතින අඩුපාඩු නිසි පරිදි පිළිසකර කර දෙන ලෙසට එහි වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව අදාළ අංශවලින් ඉල්ලා සිටිති.
මහර සමූහ – ගණිඳු රෝචන සමරතුංග