බොරුවයි මංමුලාවයි ඇන්දවිල්ලයි හරි නොගිය තැන රජය ජනතාවට තර්ජනය කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
බොරුව, පච දේශපාලනය, ඇන්දවීම හා රැවටීම රාජ්‍ය දේශපාලනය වී ඇති බවත් මේ වන විට ආණ්ඩුවට බලය ඇති පළාත් පාලන ආයතනවලට පමණක් මුදල් වෙන් කරන බවත් ජනාධිපතිවරයා තර්ජනය කරමින් යන බවත් සමගි ජන බලවේගය ජයග්‍රහණය කළහොත් රජයේ මුදල්වලින් තොරව ප්‍රශස්ත, ප්‍රබුද්ධ සේවාවක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොතුවිල් ආසනයේ, පෙරේදා (15) ලාහුගලදී පැවැති ජනහමුවක් අමතමිනි.
බොරුව, ඇන්දවීම, මංමුලා කිරීම හරි නොගිය තැන ආණ්ඩුවයි, ජනාධිපතිවරයායි තර්ජනය කරමින් යන බවත් ජනාධිපතිවරයාගේ වගකීම සමස්ත ජනතාවට සේවය කිරීම මිස ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන්ට පමණක් සේවය කිරීම නොවන බවත් එම නිසා නොබියව ඉදිරියට එන සමගි ජන බලවේගය දිනවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අප රටේ ජනතාව මාලිමා ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණට සහාය දුන් බවත් පොහොසත් රටක් හදනවා කියා පැවසුවත් අද වන විට මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ කරුණු කීයක් මහපොළොවේ සත්‍යයක් වූයේද කියා ප්‍රශ්න කළ යුතු බවත් බොරු කියන, බොරුව වපුරන, බොරුව ව්‍යාප්ත කරන පච ආණ්ඩුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. බඩු මිල වැඩිවී ආදායම් මාර්ග පහළ ගොස් ඇති බවත් එදිනෙදා වේල් තුන පිරිමහ ගන්න බැරිව දසලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුක් විඳින බවත් දරිද්‍රතාව වැඩි වී ආදායම් මාර්ග අඩු වී ජීවනෝපාය පවා කඩා වැටී ඇති මොහොතක මේ රජය ජනතාව බොරුවෙන්, ප්‍රෝඩාවෙන්, මුසාවෙන් හා මුලාවෙන් රවටමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විදුලි බිල 33%කින් අඩු කරනවා කිවුවත් 20%කින් පවා විදුලි බිල අඩු කළේ ජනතාවගේ නැඟී සිටීම නිසා බවත් විදුලි බිල අඩු වුණේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා නොව ජනතාවගේ ප්‍රශ්න කිරීම නිසා බවත් ඉතිරි 13% අඩු කරන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට අත්‍යවශ්‍ය ආහාරවල මිල වැඩි වී ඇති බවත් කිරිපිටි, හාල්, පොල්, ලුණු වැඩි වී ඇති බවත් රටට ලුණුවත් දෙන්න මේ රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රක්ෂණ ශ්‍රියන්ත