Monday, April 21, 2025
Home » දේශපාලන වැරදි ඉස්මතු වෙමින් තිබියදී ගම්මන්පිල පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා

දේශපාලන වැරදි ඉස්මතු වෙමින් තිබියදී ගම්මන්පිල පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා

-අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

by sachintha
April 17, 2025 1:59 am 0 comment

පසුගිය කාලයේදි මෙරට ක්‍රියාත්මක වී තිබෙන වංචා, දූෂණ, ඝාතන මෙන්ම දේශපාලන වැරදි කොතරම් බරපතළ ද යන කාරණය ඉස්මතු වෙමින් තිබෙන අවස්ථාවක ගම්මන්පිල, පිල්ලෙයාන්ගේ නීතිඥයා බවට පත්ව සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

සිදුව තිබෙන ඇතැම් ඝාතන හුදු දේශපාලන ඝාතන නොව කුමන්ත්‍රණ බවත් එම පැටලුණු නූල් බෝලය දැන් ටිකෙන් ටික ලිහෙමින් තිබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර දී ඊයේ (16) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසුවේය.

අල්ලස් කොමිසම යළි සක්‍රිය වී තිබෙනවා. පසුගිය කාලයේ යට ගිහින් තිබූ ෆයිල් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. නඩු පැවරීම් කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් විමර්ශන වේගවත් කර තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිචෝදනා ගොනු කෙරෙනවා. මේ ආකාරයට නීතිය පැත්තෙන් කළ යුතු වැඩකටයුතු ඊට සම්බන්ධ ආයතන මඟීන් සිදු කරනවා. රජය කරන්නේ ඒ ආයතනවලට අවශ්‍යය පහසුකම් සැලසීම පමණයි.

වංචා, දූෂණ, ඝාතන මෙන්ම දේශපාලන වැරදි මොනතරම් බරපතළ ද කියනවා නම් මේවා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ජාලයක් ලෙසයි. අද පිල්ලෙයාන්ගේ නීතිඥයා බවට පත්ව සිටින්නේ ගම්මන්පිලයි.

ගම්මන්පිල නඩු කතා කරනවා අපේ රටේ ජනතාව දැක්කේ නැහැ. නමුත් පිල්ලෙයාන් තමන්ගේ නීතිඥයා විදිහට තෝරාගෙන තිබෙන්නේ ගම්මන්පිලවයි. ඒ වගේම ගම්මන්පිල බාරගෙන තිබෙන්නේ පිල්ලෙයාන්ගේ නඩුවක්.

අපිට පේනවා මේවා නිකංම නිකං දේශපාලන ඝාතන නෙවෙයි කුමන්ත්‍රණ බව. ඒවායේ නූල් බෝලය තමයි මේ ලිහෙමින් පවතින්නේ.

පළාත් පාලන මැතිවරණයට අපි මුහුණදෙන්නේ නිකංම ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හදාගන්න ඕන කියන අර්ථයෙන්ම නෙවෙයි.

අපි රට ගොඩනැඟීමේ දැවැන්ත සංවර්ධන සැලැස්මක් ජනාධිපතිතුමා, ආණ්ඩුව හා පාර්ලිමේන්තුව විසින් දියත් කර තිබෙනවා. ඒ සඳහා ග්‍රාමීය යාන්ත්‍රණය සකස් කර ගැනීමට තමයි මේ පළාත් පාලන මැතිවරණය අපට වැදගත් වෙන්නේ. විවිධ පියවර ඔස්සේ රට ඉහළට ඔසවා තැබීම තමයි අපේ ඉලක්කය.

රට පෝසත් වෙනවා කියන්නේ ජනතාවගේ ජීවිත ලස්සන වෙනවා කියන එකයි. ඒ සඳහා ග්‍රාමීයව ඒ ජාලය සම්බන්ධ කර ගැනීමට ජාතික ජනබලවේගයට පළාත් පාලන ආයතනවල බලය අවශ්‍යයි. ජනතාව ඒක තේරුම් ගෙන සිටින බව පැහැදිලිව පේනවා. මේ නිසා එම බලය අපිට ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. අපි පාර්ලිමේන්තුවේ දී පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කළ සැණින් මැතිවරණය පැවත්වූවා නම් මැතිවරණයත් තියලා, අවුරුදුත් කාලා, හිස තෙල් ගෑමේ රාජ්‍ය චාරිත්‍රත් ඉටු කරලා ඉතිරි කටයුතුවලට යන්න තිබුණා. නමුත් විපක්ෂය කිව්වා ඒ අයට ඉක්මනට ඡන්දයට යන්න බැහැ කියලා. ඒ නිසා තමයි ඡන්දය කල්ගියේ.

පසුගිය අවුරුදු දෙක තුනේ දී විනාශම කළ ක්ෂේත්‍රයක් තමයි සෞඛ්‍ය කියන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම විනාශ කරලා එහි පදනම බිමට වට්ටලා තිබෙන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින්ට වැඩ කරගන්න බැරි තරමට යාන්ත්‍රණය බිඳ වට්ටලා තිබෙනවා.

පැරණි වංචා, දූෂණ සම්බන්ධයෙන් ආයතන කිහිපයකටම කටඋත්තර දීමට සිදුව තිබෙන නිලධාරීන් හා සේවකයින් තාමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්නවා. ඖෂධවල යම් ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා නම් ඒ 2023 හා 2024 කාලවල හරියට ඖෂධ ඇනවුම් නොකිරීම නිසා ඇති වූ ප්‍රශ්නයක්.

බිඳවැටුණු සෞඛ්‍ය ක්ෂේත්‍රය අපි යථාවත් කරමින් ඉන්නවා. තවත් මාස කිහිපයක් යනවිට ජනතාව අපේක්ෂා කරන ආකාරයටම සෞඛ්‍ය සේවය ලබාදීමට හැකියාව ලැබේවි. අපට අවශ්‍යය සංදර්ශන විසඳුම් වෙනුවට ස්ථිරසාර විසඳුම් ලබා දී සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනැඟීමයි.”

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT