අමෙරිකාව අප රටට තීරු බදු පැනවීමෙන් රටේ ඇති වන ප්‍රශ්නකාරී ආර්ථිකමය තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස සලකා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව රට දැනුම්වත් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මාධ්‍ය වෙත ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරු බදු ක්‍රමය ක්‍රියාත්මක කිරීම මාස 3කින් කල් දමා තිබෙනවා. ඒ මාස 3 අවසන් වන විට මේ තීරු බද්ද ක්‍රියාත්මක වීමට නියමිතයි. ට්‍රම්ප් ජනපති එම කාරණය තම මැතිවරණ ප්‍රකාශයේද ප්‍රකාශයට පත් කොට ඇරඹූ නිසා එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න බැහැ.
ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බද්ද අඩු කළ ද 25-30% ක හෝ තීරු බදු ගෙවන්න සිදු වෙනවා නම් එය අපට විශාල ප්‍රශ්නයක්. අපගේ ව්‍යාපාරවල ලාභාන්තිකය දෙස බලනවා නම් ඒ තරම් වැඩි තීරු බදුවලින් ලාභ ලබන්න බැහැ. එය අලාභයක් බවට පත්වෙනවා.
තීරු බදු වැඩිවීමත් සමඟ මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව අඩු වෙනවා. ඒ නිසා අපට ප්‍රශ්නය තිබෙනවා. අප ඒ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. මේ මාස 3 අවශ්‍ය වී තිබෙන්නේ රටවල් 2 අතර සාකච්ඡා පැවැත්වීමටත් චීන ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න සලකා බැලීම සඳහාත් ය.
මේ බද්ද නවත්තන්නට බැහැ. එය ක්‍රියාත්මක වෙනවා. රැකියා නොමැතිවීම මෙහි එක් බලපෑමක් ලෙස සැලකිය හැකියි. ලක්ෂයකට පමණ රැකියා නැති වනු ඇතැයි කියනවා. රැකියා නැතිවන ගණන ලක්ෂය වුවත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාලයි.
එමෙන්ම මෙම ව්‍යාපාරයට සම්බන්ධ නැවතුම් ස්ථාන දෙන අය, කඩ සාප්පු පවත්වාගෙන යන අය ආදී හැම දෙනාගේම ආදායමට මෙයින් පහරක් වැදෙනවා.
එපමණක් නොව අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. එමෙන්ම අපේ ගෙවුම් ශේෂයට මෙයින් තවත් බරක් එනවා. අපට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය සහ ලැබෙන මුදල් ප්‍රමාණය අතර පරතරය වැඩි වෙනවා. අපට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අප ණය ගන්නා ප්‍රමාණය වැඩි වෙනවා.
ඒ නිසා අපට දැන් ඩොලර් මිලියන 300ක් පමණ නැවත ඒ කාර්තුවට ගෙවන්නට සිදුවී තිබෙනවා. මහ බැංකුවෙන් ගත්තත් ණය ලෙස ගත්තත් එයින් වන්නේ රුපියලේ වටිනාකම අඩු වීමයි. මේ අර්බුදය නිසා රුපියල තවත් අඩුවී තිබෙනවා. මෙම ප්‍රශ්නවලට අපට මුහුණ දීමට තිබෙනවා. අපට තිබෙන්නේ 2028 වසරේදි නැවත ණය ගෙවන ඉලක්කය අනුව ක්‍රියා කරන්නයි. එලෙස ණය ගෙවන්නට හැකියාව තිබේදැයි සිතන්නට සිදු වෙනවා. ගිය වසරේදි 5%ක වර්ධන වේගයක් ඇතිකර ගන්න හැකියාව ලැබුණා. මේ අර්බුදය නිසා අපේ වර්ධන වේගය අඩු වෙන්න පුළුවන්.
මෙයින් ශ්‍රී ලංකාවට ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඔවුන් සමඟ සාකච්ඡා කළ යුතුයි. පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතුයි. මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකා ආණ්ඩුව ගන්නා පියවර කුමක්ද යන්න පිළිබඳව රට දැනුම්වත් කළ යුතුයි.
මෙම තත්ත්වය ගැන ප්‍රකාශයක් නොකළොත් නොයෙක් ප්‍රශ්න ඇති වෙනවා. මේ අලුත් තත්ත්වයට මුහුණ දීම සඳහා රජයෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.
ශිරෝමි අබයසිංහ