Saturday, April 19, 2025
Home » තමන් වැරදි නොකළ බව හැඬූ කඳුළින් මා සමඟ කිව්වා
“ගම්මන්පිල පිල්ලෙයාන්ගේ ප්‍රකාශකයා වෙයි”

තමන් වැරදි නොකළ බව හැඬූ කඳුළින් මා සමඟ කිව්වා

-පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල

by sachintha
April 17, 2025 1:00 am 0 comment

පිල්ලෙයාන් එක්ක ඔය සෙල්ලම් බෑ කියලා අපි ආණ්ඩුවට කියනවා

කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයෙන් ඉවත්ව, හමුදාව සමඟ එකතු වීමෙන් පසුව කොටි සංවිධානයේ අවසානය ආරම්භ වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ (16) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“මේක ජීවිතයේ කිසිම දිනක පැවැත්වීමට බලාපොරොත්තු නොවූ මාධ්‍ය හමුවක්. සී.අයි.ඩි.යේදි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වුණේ නීතිඥවරයකු ලෙස මිස දේශපාලනඥයකු ලෙස නොවෙයි.

මම මගේ දේශපාලන ජීවිතයත්, වෘත්තීය ජීවිතයත් ඉරක් ගහලා වෙන්කරලා තියෙන්නේ. ඒ නිසා මම සී.අයි.ඩී.යට යෑමට පෙරවත්, යෑමෙන් පසුවත් මාධ්‍යයට ඒ ගැන කිව්වේ නෑ. පිල්ලෙයාන් හමු වුණු බව මාධ්‍යවලට කියන්න එපා කියලා සී.අයි.ඩී. පරිපාලන ස්ථානාධිපතිවරයාත් මගෙන් ඉල්ලීමක් කළා.

“බය වෙන්න එපා. මම නීතිඥ ආචාරධර්ම දන්නවා” කියලා එතුමාටත් කිව්වා. නමුත්, පොලීසිය ඉතිහාසයේ කවදාවත් නොවුණු අයුරින් දේශපාලනීකරණය වෙලා.

මම සී.අයි.ඩී.ය ඇතුළේ ඉන්න අතරේ සමාජ මාධ්‍යවේදීන් මගේ පැමිණීම ගැන වාර්තා කිරීම එයට හොඳම උදාහරණයක්.

ඔය අතරේ සී.අයි.ඩි.යේ සිටින උප පොලිස් පරීක්ෂකවරයකු වන ඒ.එල්.එම්. ෆාහිම් මාගේ පැමිණීම ගැන ඔහුගේ මතය සමාජ මාධ්‍යවල දානවා. මීට කලින් පොලිස් නිලධාරින් මෙහෙම හැසිරිලා තිබෙනවාද? යම් රැඳවියකුගේ නීතිඥයා කවුද? බලන්න ආපු අය කවුද? වැනි කරුණු මීට කලින් මෙහෙම වාර්තා වෙලා නෑ.

පොලීසියේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමාජ මාධ්‍යට මුදලට තොරතුරු විකුණන බවට අපට තොරතුරු තිබෙනවා. ඒ නිසා තෝරාගත් සමාජ මාධ්‍යවලට පමණක් සී.අයි.ඩි.යේ තොරතුරු ලැබෙන්නේ කෙසේද? කියන කාරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ඇරඹිය යුතුයි. එතකොට මේ ජාවාරම හෙළිකරගන්න පුළුවන්.

ඒ වගේම, පිල්ලෙයාන්ගේ ප්‍රකාශයේ තිබුණාය කියලා විවිධ කරුණු සමාජ මාධ්‍යවල පළ වෙනවා. මීට කලින් සිදු වෙලා තිබෙන්නේ යමක් රටට ප්‍රකාශ කළ යුතු නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සියලුම මාධ්‍යවලට ඒ සම්බන්ධයෙන් කියනවා මිසක්, තමන් තෝරාගත් මාධ්‍යවලට විතරක් කියන්නේ නෑ.

නමුත්, මම පිල්ලෙයාන් හමු වීමේ සිදුවීමට පොලීසිය සහ ආණ්ඩුව දැවැන්ත ප්‍රසිද්ධියක් ලබා දීම නිසා මාධ්‍ය නිරන්තරයෙන් ඒ පිළිබඳව තොරතුරු විමසීම හේතුවෙන් මේ මාධ්‍ය හමුව පවත්වන්න සිදු වුණා.

මේ ආණ්ඩුවේ නායකයන් රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ඉන්නවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යමෙක් අත්අඩංගුවට ගත්තම අත්අඩංගුවට ගැනීමට හේතුව දැක්වූ ලේඛනයක් ඥාතින්ට භාර දෙන්න ඕනෑ. ඒක කළේ නෑ. ඒ වගේම නීතිඥවරයකුට ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලුවොත් එයත් ලබා දෙන්න ඕනෑ. ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒ වගේම පවුලේ ඥාතීන් සමඟ කතා කිරීමට අවස්ථාව ලබාදිය යුතු වුවත් ඒක කළෙත් නෑ.

පිල්ලෙයාන්ගේ නීතිඥයා මගේ මිත්‍රයෙක්. ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයෙක් අප්‍රේල් 09 දා පිල්ලෙයාන් බැලීමට අවස්ථාව ඉල්ලුවත් සී.අයි.ඩි.ය ඒකත් ප්‍රතික්ෂේප කරලා. ඒ බව මම දැනගත්තම, පසුගිය 12දා පිල්ලෙයාන්ගේ ඥාතින් මගේ කාර්යාලයට ගෙන්වලා තොරතුරු ලබාගත්තා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාවට දුරකතනයෙන් කතා කරලා පිල්ලෙයාන්ගේ නීතිඥයාටවත්, ඥාතීන්ටවත් පිල්ලෙයාන් සමඟ කතා කරන්න අවස්ථාව දී නැති නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 10අ (1) වගන්තියෙන් නීතිඥවරයකුට රැඳවියා හමු වන්නත් 10අ(2) වගන්තියෙන් ඥාතින් සමඟ කතා කිරීමටත් නීතියෙන්ම අයිතිය දීලා තිබෙන බව පෙන්වා දුන්නා.

ඒ බව පවසලා, පිල්ලෙයාන්ගේ දැන් නීතිඥයා මම නිසා මට ඔහු සමඟ කතා කරන්න අවස්ථාව ඕනෑ කිව්වා. එතකොට, ලිඛිතව ඉල්ලීමක් කළොත් ඉහළ නිලධාරින්ට දැනුම් දීලා තීරණයක් ලබා දෙන්නම් කියලා අධ්‍යක්ෂතුමිය කිව්වා.

මම අදාළ නීතිමය විධිවිධාන සඳහන් කරමින් ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීම කරලා පැය 3ක් ඇතුළත අධ්‍යක්ෂතුමිය අප්‍රේල් 13 උදෑසන 10ට මට සී.අයි.ඩි.ය ට එන්න කියලා දැනුම් දුන්නා. දුරකතනයෙන් කතා කළ වහාම කතා කිරීම ගැනත් මගේ ලිඛිත ඉල්ලීමට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැන සී.අයි.ඩී. අධ්‍යක්ෂතුමියට මගේ ප්‍රණාමය පුද කරනවා.

පිල්ලෙයාන් සමඟ විනාඩි 30ක් පමණ මම කතා කළා. මා කතා කරන අවස්ථාවේ එතැන පොලිස් නිලධාරින් 4 දෙනෙක් සියල්ල අසාගෙන හිටියා. එක්කෙනෙක් කියන ඒවා ලියා ගත්තා. සාමාන්‍යයෙන් සැකකරුවෙක් තමන්ගේ නීතිඥයා සමඟ කරන සාකච්ඡා රහසිගත විය යුතුයි. ඒ බව මම පෙන්වා දුන්නත්, පොලිස් නිලධාරින් එතැන රැඳිලා හිටියා. නමුත්, එතැන ඔවුන් රැඳී හිටිය එකෙන් මා කියන දෙයට සාක්ෂිකරුවන් 4 දෙනෙක්ම ඉන්නවා.

පිල්ලෙයාන් හඬාවැටෙමින් ඇස්වලින් කඳුළු කඩා වැටෙද්දී මට කිව්වා “කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළා. එදා කොටියාගේ පැත්ත අරන් සටන් කරපු සමහරු අද පාර්ලිමේන්තු මන්ත්‍රිවරු. තව සමහරු සරු ව්‍යාපාරිකයෝ. තවත් සමහරු එන්ජීඕ ප්‍රධානින්. ඒ අය කිසිම ප්‍රශ්නයක් නැතිව සමාජයේ ජීවත් වෙනවා.

මම බොරු නඩුවකට රැඳවුම් නියෝග යටතේ අවුරුදු පහක් ඇතුළේ හිටියා. අන්තිමට සාක්ෂි නැතිව නඩුව හකුළා ගත්තා. දැන් ආයෙත් ඇතුළට දැම්මා. රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ කියලා.

සමාජ මාධ්‍යවල ලියන පුංචි දුවලා පුතාලා පිල්ලෙයාන් කියන්නේ කවුද කියලා දන්නේ නෑ. හරි නම් මේ රටේ කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න ඔහු කළ තීරණාත්මක කාර්යභාරයට ඔහුව ජාතික වීරයකු ලෙස සලකන්න ඕනෑ. කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයෙන් ඉවත් වෙලා හමුදාව සමඟ එකතු වුණාට පස්සේ තමයි කොටි සංවිධානයේ අවසානය ආරම්භ වුණේ. කවුද මේ පිල්ලෙයාන්?

අවුරුදු 14 දී කොටි සංවිධානයෙන් බලහත්කාරයෙන් එම සංවිධානයට බඳවා ගත් ළමා සොල්දාදුවෙක් තමයි පිල්ලෙයාන් කියන්නේ. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගත්තා කියන එකට තිබෙන ජීවමාන සාක්ෂියක් තමයි පිල්ලෙයාන්.

පිල්ලෙයාන් වගේම නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන් අපේ හමුදාවට හිසරදයක් වුණු දක්ෂ සටන්කරුවන්. කොටි සංවිධානය රණවිරුවන් සමඟ උතුරේ යුද වැදිලා පරාජය පෙනුණු සෑම අවස්ථාවකම නැගෙනහිර කොටි උතුරට ඇවිල්ලා තමයි කොටි සංවිධානය බේරා ගත්තේ.

ඒ නැගෙනහිර කොටි නායකයින් වුණු කරුණා සහ පිල්ලෙයාන් 2003දි කොටි සංවිධානයෙන් ඉවත් වුණේ 6000ක ත්‍රස්තවාදින් එක්ක. පිල්ලෙයාන් කියන්නේ අන්තිම මොහොත වන තුරුම හමුදාවේ ලේ ඉල්ලලා, සටන පැරදුනාම යටත් වුණු කොටියකු නොවේ.

කොටි සංවිධානය අත්හැරලා අපේ හමුදාව එක්ක බෙදුම්වාදයට ත්‍රස්තවාදයට එරෙහිව තමන්ගේ ජීවිතය පරදුවට තියලා රට වෙනුවෙන් සටන් කරපු සැබෑ දේශප්‍රේමියෙක්.

2006 දි පිල්ලෙයාන්ලා හමුදාවත් එක්ක එකතු වෙලා කොටින්ට විරුද්ධව සටන් කරන කොට කොටින් වෙනුවෙන් සටන් කරන්න හිටියේ භූමිය නොදන්න උතුරෙන් පැමිණි ත්‍රස්තවාදීන්. ඒ නිසා කොටි ත්‍රස්තවාදය ඉතා පහසුවෙන් නැගෙනහිරින් පරාජය කරන්න අපට පුළුවන් වුණා.

උතුරේ සටන්වලදි වෙනදා කොටින්ට නැගෙනහිරින් ලැබෙන තීරණාත්මක සහයෝගය ලැබුණේ නෑ. එහෙම නම් අද අපි සාමකාමි රටක ජීවත් වෙන්නේ පිල්ලෙයාන් වැනි අය ජීවිත පරදුවට තබා කළ සටන් නිසා.

කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න පිල්ලෙයාන් කළ කාර්යභාරය ගැන දෙමළ බෙදුම්වාදින් පිල්ලෙයාන් එක්ක ඉන්නේ වෛරයෙන්. ඔහුව විනාශ කිරීම බෙදුම්වාදීන්ගේ ලොකුම ඉලක්කයක්. ඒ නිසා ජාතික ජන බලවේගය හරහා බෙදුම්වාදීන් පිල්ලෙයාන්ට දඬුවම් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරලා තිබෙනවා.

2015දිත් ජාතික ජන බලවේගයේ සහායෙන් බලයට පත් වුණු ආණ්ඩුව පිල්ලෙයාන් වසර 5ක් රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන හිටියා. ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි නෑ කියලා අධිකරණය විසින් තීරණය කළා. දැන් නැවත වතාවක් පිල්ලෙයාන්ව අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

2006 දෙසැම්බර් මාසයේදි එවකට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත්ව අතුරුදන් කිරීම ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව.

2025 ජනවාරි වන තුරු ඒ කියන්නේ වසර 18ක් යන තුරුම මේ පිළිබඳ පිල්ලෙයාන්ට එරෙහිව කිසිම චෝදනාවක් නෑ. 2025 ජනවාරි මාසයේදි අරුන් හේමචන්ද්‍රන් නියෝජ්‍ය ඇමැතිවරයාගේ ඥාතියකු හදිසියේ සී.අයි.ඩි.යට ලබා දෙන සාක්ෂියක් මත තමයි මේ අත්අඩංගුවට ගන්නේ.

පසුගිය 8දා අත්අඩංගුවට ගන්නා තුරු තමන්ට උපකුලපතිවරයකු අතුරුදන් කළා කියලා චෝදනාවක් තිබෙන බව පිල්ලෙයාන්වත් දන්නේ නෑ.

මේ උපකුලපතිවරයා අතුරුදන් වෙන්නේ 2006 දෙසැම්බර් මාසයේ 16දා කොළඹදි. මේ දවසේ පිල්ලෙයාන් කොහේද සිටියේ කියලා මම ඔහුගෙන් ප්‍රශ්න කළා. එතකොට ඔහු කිව්වේ ඒ දවස ගැන මට නිශ්චිත මතකයක් නැතත් ඔය කාලයේ තමයි කොටි සමඟ නැගෙනහිර යුද්ධය දරුණුවටම තිබ්බේ.

ඒ යුද කාලය පුරාම කරුණා කණ්ඩායම කොටින්ට එරෙහිව මෙහෙයෙව්වේ මම. ඒ නිසා මාදුරුඔය තිබුණු අපේ කඳවුරෙන් පිටතට යන්න මට වෙලාවක් තිබුණේ නෑ. මාවිල්ආරුවලින් නැගෙනහිර මෙහෙයුම් පටන් ගන්නේ 2006 ජූලි 26 දා. තොප්පිගල අත්පත් කරගෙන නැගෙනහිර මෙහෙයුම් අවසන් වෙන්නේ 2007 ජූලි 11. ඒ අනුව ඔය සිදුවීම වෙන්නේ නැගෙනහිර සටන්වල උච්ඡතම අවස්ථාවේ කියන කතාව ඇත්ත.

මේ අතුරුදන් වීමට පිල්ලෙයාන් සම්බන්ධද නැද්ද කියන කතාව පැත්තකින් තියමු. කොටි නායකයන් අද මන්ත්‍රීවරු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. මගේ දෙවියා මගේ නායකයා ප්‍රභාකරන් කියලා අර්චුනාට යහතින් ඉන්න පුළුවන්.

ගෝනි බිල්ලන් ඇමැතිවරු වෙලා ඉන්නවා. මේ කාටවත් ත්‍රස්තවාදි සමයේ කරපු දේවල්වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මුළු රටම උතුරේ සහ දකුණේ ත්‍රස්තවාදින්ට සමාව දීලා ඒ යුගය අමතක කරලා ඉන්නේ. එහෙම නම් පිල්ලෙයාන් පස්සෙන් විතරක් පොලීසිය පන්නන්නේ ඇයි?

ත්‍රස්තවාදය විනාශ කරන්න දායක වුණු අයට වෛර කරනවා. මෙහෙම දඬුවම් විඳින්න පිල්ලෙයාන් කරපු වරද තමයි කොටි සංවිධානයෙන් වෙන් වෙලා ඇවිත් කොටි ත්‍රස්තවාදය අවසන් කරන්න දායක වීම. දකුණේ ත්‍රස්තවාදීන් විසින් උතුරේ ත්‍රස්තවාදීන්ට ලබා දෙන තෑග්ග තමයි පිල්ලෙයාන්.

පිල්ලෙයාන් මාව පෞද්ගලිකව හමුවී ඇත්තේ දෙපාරක් පමණයි. නමුත් ඔහු වෙනුවෙන් මම පෙනී සිටින්නේ ශ්‍රී ලාංකිකයන් ගුණමකු ජාතියක් නොවන බව සිංහලයන් ගුණමකු ජාතියක් නොවන බව පෙන්වන්නයි. ත්‍රස්තවාදයට විරුද්ධ වීම නිසා කාටහරි දඬුවම් කරනවා නම්, අපි ඒ අය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනවා.

එහෙම නොකළොත් අනාගතයේදි ත්‍රස්තවාදය අත්හැර ත්‍රස්ත විරෝධීන් සමඟ එකතු වෙලා ත්‍රස්තවාදය විනාශ කරන්න කිසිවකු ඉදිරිපත් වෙන්නේ නෑ.

පිල්ලෙයාන්ගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු රාශියක් අනාවරණය වුණු බවට මහජන ආරක්ෂක අමාත්‍යතුමා අප්‍රේල් 10දා පාර්ලිමේන්තුවට කිව්වා. ඒ වගේම පාස්කු ප්‍රහාරය විමර්ශන යටතේ මඩකලපුවේ කෙනකු අත්අඩංගුවට ගත් බව අප්‍රේල් 12දා ජනාධිපතිතුමා මඩකලපුවේ දී කිව්වා. පට්ටපල් බොරු. ජනාධිපතිතුමා සහ ඇමැතිවරු බොරු විදින මැෂින් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ ඉන්නේ බත් කන හරක් කියන අදහසින් වෙන්න ඕනෑ.

මේ තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අත්සන් තබා නිකුත් කළ පිල්ලෙයාන් පිළිබඳ රැඳවුම් නියෝගය. (රැඳවුම් නියෝගය කියවයි) මේකේ පාස්කු ප්‍රහාරය ගැන වචනයක්වත් කියවෙනවා ද? නෑ.

අධිකරණයට ඉදිරිපත් නොකර ජනාධිපතිගේ රැඳවුම් නියෝගයක් යටතේ තබා ගන්නේ අධිකරණයට ඉදිරිපත් කළා නම් අත්අඩංගුවට ගැනීමට බලපෑ හේතු සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න වෙන නිසා මේ බොරුව හෙළි වෙනවා.

මම අප්‍රේල් 13දා පරණ අවුරුදුදා පොලිස් නිලධාරින් 4 දෙනෙක් ඉදිරිපිටදී පිල්ලෙයාන්ට කතා කළේ. ඒ කියන්නේ ජනාධිපති සහ පොලිස් ඇමැති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් සම්බන්ධ බවට ප්‍රකාශ කළාට පස්සේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ එක වචනයක් පිල්ලෙයාන් කතා කරලා නෑ. එහෙම ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය ගැන මෙලෝ දෙයක් පිල්ලෙයාන් දන්නෙත් නෑ. 2015 සිට 2020 දක්වා අත්අඩංගුවේ සිටි කෙනකු 2019දී පාස්කු ප්‍රහාරය කෙරෙව්වා කියලා කවුරු හරි චෝදනා කරනවා නම් ඒ අයගේ ඔළුව පරික්ෂා කරන්න ඕනෑ. සහරාන් එක්ක ඡායාරූප ගත්ත දේශපාලකයන් ගණනාවක් ඉන්නවා. එහෙම කෙනකු මහ මොළකරු කියලා අත්අඩංගුවට ගත්තා නම් පුංචි හරි පදනමක් තිබෙනවා.

අප්‍රේල් 21ට කලින් පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු කීපදෙනෙක් හෙළිදරව් කරනවා කියලා ජනාධිපතිතුමා කිව්වේ මාර්තු 30දා. දැන් අප්‍රේල් 21ට තිබෙන්නේ දවස් 5යි.

පොලීසියේ ලණුවක් කාලා කරපු ප්‍රකාශය නිසා ජනාධිපතිතුමා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒ නිසා පාස්කු ප්‍රහාරය කාලේ වසර පහක් හිරේ හිටිය පිල්ලෙයාන් අල්ලා ගෙන ඔහුට බලපෑම් කරලා පාපොච්චාරණයක් කරවා ගන්නයි හදන්නේ. හාවා අල්ලා ගෙන තමන් නරියකු කියලා පිළිගන්නා තුරු පහර දෙන න්‍යාය හැමදාම හරි යන්නේ නෑ. දැන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සී.අයි.ඩි.ය භාරව ඉන්න කාලයේ තමයි කොළ පාට හෝස් බටයකින් රැයක් පුරා ගහලා සේයා දෙව්මිණි මැරුවේ තමන් කියලා පිළිගන්න කොණ්ඩයාව එකඟ කරගත්තේ. ඩී.එන්.ඒ. පරීක්ෂණ නොතිබුණා නම් සී.අයි.ඩි.ය විසඳූ තවත් අබිරහසක් ලෙස මේ කතාව ඉතිහාසයට එකතු වෙන්න තිබුණා. පිල්ලෙයාන්ටත් කොණ්ඩයාට වගේ බලපෑම් කරන්න තමයි නීතිඥයන්ට මුණගැහෙන්න දෙන්න ප්‍රතික්ෂේප කළේ. ගෙදර අය සමඟ කතා කරන්න අවස්ථාව නොදුන්නේ. ප්‍රභාකරන් එක්ක හැප්පිලා ජයග්‍රහණය කරපු පිල්ලෙයාන් එක්ක ඔය සෙල්ලම් බෑ කියලා අපි ආණ්ඩුවට කියනවා.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT