Home » දළදා ප්‍රදර්ශනය සඳහාවන පෙර සූදානම ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරික්‍ෂණයට

දළදා ප්‍රදර්ශනය සඳහාවන පෙර සූදානම ආරක්‍ෂක ලේකම්වරයාගේ නිරික්‍ෂණයට

by chanaka
April 17, 2025 9:53 am 0 comment

ඓතිහාසික මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී එළඹෙන අප්‍රේල් 18 සිට 27 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ විශේෂ මහජන ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය මූලික කටයුතුවල සූදානම පරීක්‍ෂා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ඊයේ (16) මහනුවර වෙත පැමිණ තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව, මෙම විශේෂ දළදා ප්‍රදර්ශනය හෙට(18) ආරම්භ වීමට නියමිත වන අතර, එදින පස්වරු 3:00 සිට පස්වරු 5:30 දක්වා ද, ඉන් අනතුරුව අප්‍රේල් 19 සිට 27 දක්වා දිනපතා මධ්‍යහ්න 12:00 සිට පස්වරු 5:30 දක්වා ද, ශ්‍රී ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත වන අතර, එහිදී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු දළදා වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසේ.

ඊයේ දින මහානායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආරක්‍ෂක ලේකම්වරයා, වසර 16 කට පසු ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙම දුර්ලභ අධ්‍යාත්මික අවස්ථාව ලබා දීම පිළිබඳව උන්වහන්සේලා වෙත සිය කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාව පුරා විසිර සිටින බැතිමතුන් වෙත ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට හා වැඳ පුදා ගැනීමට උදා වී ඇති මෙම දුර්ලභ අවස්ථාව බෙහෙවින් අගය කරන බව ද, එහිදී ඔහු පැවසීය.

ශ්‍රී දන්ත ධාතු වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන දින 10ක කාල සීමාව තුළ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ඊට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මහජනතාවට බාධාවකින් තොරව දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවශ්‍ය ආරක්‍ෂාව සහ පහසුකම් සැලසීම අදාළ බලධාරීන් වන අප සැමගේ සාමූහික වගකීම බව ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළ අතර, බැතිමතුන් හට සාමකාමීව හා ගෞරවනීය ලෙස මෙම අත්දැකීමක් විඳගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජයේ පූර්ණ කැපවීම ද තහවුරු කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමටත්, අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, අවශ්‍ය මූලික පහසුකම් අඛණ්ඩව හා බාධාවකින් තොරව ලබාදීමටත්, මේ වනවිටත් අවශ්‍ය කටයුතු සලසා ඇති බව මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ කියා සිටියේය.

තවද, දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් උදෙසා ත්‍රිවිධ හමුදාව විසින් සලසා දී ඇති පහසුකම් පිළිබඳ සොයා බැලීමට නිරීක්‍ෂණ චාරිකාවක්ද ආරක්‍ෂක ලේකම්වරයා විසින් සි‍දුකරන ලදි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්වර‍යා සමඟ යුද්ධ හමුදාපති, ආරක්‍ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) ආඥාපති, 11 වන සේනාංකයේ සේනාංකාධිපති, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT