Monday, April 21, 2025
Home » දළදා මාලිගාවේ හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයේදී

දළදා මාලිගාවේ හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයේදී

by sachintha
April 17, 2025 1:02 am 0 comment

හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.

මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන දිඹුල්කුඹුරේ විමලධම්ම, නියංගොඩ ශ්‍රී විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි සහ නාථ දේවාල විහාරස්ථානයේ විහාරාධිපති, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ගොමගොඩ රතනසාර, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව හිස තෙල් ගෑමේ චාරිත්‍රය පෙරවරු 9.04ට යෙදුණු සුබ නැකතට අනුව සිදු කෙරිණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවයට සමගාමීව අලි ඇතුන්ගේ හිස තෙල් ගැල්වීම ද විශේෂත්වයකි.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන බුරුම රාජා හා මියන් රාජා ඇතුන්ගේ හිස තෙල් ගැල්වීමෙන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුන් දෙදෙනාට පලතුරු සංග්‍රහයක් ද කළේය.

අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අලුත් අවුරුද්ද අලුතින්ම පටන් ගන්නවා කියන හැඟීම මේ රටේ පොදු ජනතාව තුළ පවතින බව දැනෙන්නේ යැයි ද මෙවර අලුත් අවුරුද්දේදී ජනතාව නිදහසේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළේ යැයි ද පැවසුවේය.

තවත් එක් අවුරුදු චාරිත්‍රයක් ලෙස මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ නාථ දේවාල පරිශ්‍රයේදී හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පැවැත්වූ බවත් මෙම චාරිත්‍රය මේ රටේ ජනතාවගේ නිරෝගීකම හා බැඳුණු එකක් බවත් කී ඒ මහතා, මෙරට සියලු ජනතාවට නිරෝගී සුවය ප්‍රාර්ථනය කරන බව ද ප්‍රකාශ කළේය.

රට තුළ ඇතිවෙමින් තිබෙන පරිවර්තනය ජන ජීවිතවලට දැනෙන්නට පටන්ගෙන තිබෙන බවත් ඔවුන්ගේ ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇති වෙමින් තිබෙන බවත් ඒ මහතා කීය.

ජනතාවට එදිනෙදා ජීවිතයේදී බලපාන ගැටලුවලට තිරසර විසඳුම් දීම සඳහා රජය කැපවී සිටින බවත් අවුරුදු සමයේදී ජනතාව වෙතින් දක්නට ලැබුණේ එහි ප්‍රතිඵල බවත් ඇමැතිවරයා පැවසුවේය.

ජනතාවගේ ආර්ථික බර අඩු වන විට ඔවුන් නිදහසේ චාරිත්‍ර වාරිත්‍ර සමරන බව ද ඒ මහතා කීවේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී. අභයකෝන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රානි කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, නාථ දේවාල බස්නායක නිළමේ ඒ.ඩබ්ලිව්.එස් බණ්ඩාරනායක, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT