Monday, April 21, 2025
Home » කොළොන්නාව රාජමහා විහාරයේ හිස තෙල් ගෑමේ උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

කොළොන්නාව රාජමහා විහාරයේ හිස තෙල් ගෑමේ උත්සවය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

by sachintha
April 17, 2025 1:01 am 0 comment

නව වසරේ හිස තෙල් ගෑමේ මංගල්‍යය කොළොන්නාව පුරාණ රාජමහා විහාරයේදී අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ සහභාගිත්වයෙන් ඊයේ (16) පැවැත්විණි.

ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුභ නැකතින් විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කළහ.

මෙහිදී පැමිණ සිටි ජනතාවට නව අවුරුදු සුබ පැතුම් එක් කළ අගමැතිවරිය මෙසේ ද පැවසුවාය.

“සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නෙ අපේ රටේ තියෙන වැදගත්ම උත්සවයක්. අපේ සිරිත් විරිත් හා ඥාතීන් මතක් කරගෙන අපේ පවුල මූලික කරගෙන සමරන උත්සවයක්. මේ උත්සවය තුළින් තමයි අපේ එකමුතුකම, ආදරය, බැඳීම මේ සියල්ලම අලුත් කර ගන්නේ. මේව රටකට අවශ්‍යයි. රටක සංවර්ධනය කියන්නේ එක පැත්තකින් විතරක් නෙමෙයි. සැබෑ සංවර්ධනයේදී අපේ අධ්‍යාත්මය, සම්බන්ධතා සහ බැඳීම් මේ සියල්ලම වැදගත්. මෙවැනි උත්සවවල මෙවැනි සිරිත් විරිත් අපි අනුගමනය කරන්නේ ඒවා අපිට සිහි කරන්න. ඒවායේ වැදගත්කම ඊළඟ පරපුරට කියල දෙන්න.”

මේ අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කර සිටි අතර තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, නාගරික ලේකම් නෙළුම් කුමාරි ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව එක්ව සිටියහ.

නුවන් කොඩිකාර, මුල්ලේරියාව

සිරිසේන ගමගේ, කොළොන්නාව

ඒ. සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT